2020 මහමැතිවරණය

සියලු දේශපාලන පක්ෂ නිහඬ කාලයේ ෆේස්බුක් හී ප්‍රචාරණ කටයුතු සිදු කරති

(RIVIRA.LK, 2020 අගෝස්තු 04 පස්වරු 12.55ට)

2020 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 දින මධ්‍යම රාත්‍රි 12න් අවසන් වුව ද මේ වන විටත් සියලුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන බව නිරීක්ෂණය වේ.

පැෆ්රල් සංවිධානය පවසන්නේ අගෝස්තු 04 පෙරවරු 9න් අවසන් වූ කාල සීමාව තුළ පමණක් සමාජ මාධ්‍යයන්හි සිදුවන ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි 940ක් ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කළ දැනුම් දීමක් අනුව එම පැමිණිලිවලට අදාළ දැන්වීම් 140 ක් ඉවත් කර ඇති බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

එසේම ෆේස්බුක් ආයතනය වෙත මුදල් ගෙවා පළ කරන දැන්වීම් ද තවමත් පළ කෙරෙමින් පවතින අතර වෙනත් කාලවලදී ව්‍යාජ පිටු හා වෙනත් සහය පළ කරන ෆේස්බුක් පිටු හරහා තහනම් ප්‍රචාරණ කටයුතු සිදුකළ ද මෙවර ෆේස්බුක් ආයතනය විසින් තහවුරු කරන ලද නිල ෆේස්බුක් පිටුවලින් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුුතු සිදුකරන බව පෙනී යයි.

එසේම ජනප්‍රිය ෆේස්බුක් පිටු හරහා ද දැන්වීම් බව නොපවසන දැන්වීම් ද පළ කර ඇති බව නිරීක්ෂණය වේ. මැතිවරණ දැන්වීම් පළ කිරීමේ “එය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්” බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වුවද එම ෆේස්බුක් පිටු තම සාමාන්‍ය පෝස්ටුවක් ආකාරයෙන් මැතිවරණ දැන්වීම් පළ කිරීම මේ වන විට සිදුවෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අගෝස්තු 03 දින පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටි විට ඔහු සඳහන් කළේ එවැනි පැමිණිලි සම්බන්ධයෙන් තම කොමිසමට පැමිණිලි ලැබුණු විට ක්‍රියා කරන බවයි. එහෙත් ඒවා සම්පූර්ණයෙන් නැවැත්විය නොහැකි බැවින් හොඳව විසඳුම වන්නේ ෆේස්බුක් ගිණුම “අක්‍රීය” කිරම බව ද ඔහු සඳහන් කළා.

එසේම ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව ද ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top