(RIVIRA.LK, 2020 අගෝස්තු 04 පස්වරු 03.30ට)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වීමට ඇති සුදුසුකම් සහ නුසුදුසුකම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. එම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ඡන්ද බලය අහිමි නොවන ඕනෑම පුරවැසියෙකුට 91 ව්‍යවස්ථාවේ සඳහන් නුසුදුසුකමක් නොමැති නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුකම් ඇති බවයි. එහෙත් ඊට ව්‍යතිරේඛ අවස්ථාවක් ද පවතී.
මේ ඒ සම්බන්ධයෙන් රිවිර.lk කළ සොයා බැලීමකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වේ. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිපාදන ඇතැම් විටෙක එම ව්‍යවස්ථාවේ සඳහන් අනෙකුත් ප්‍රතිපාදන සමග ඒකාබද්ධ කර ඇති බැවින් එහි සඳහන් කර ඇති අනෙකුත් ප්‍රතිපාදන කියැවීම ද අත්‍යවශ්‍ය වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව මෙසේය;
91 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නුසුදුස්සකු වුවහොත් මිස ඡන්ද බලය හිමි සෑම තැනැත්තෙක් ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) (අ) අනු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.
යම්කිසි තැනැත්තකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව යටතේ දැක්වෙන්නේ “ඡන්ද බලය අහිමිවීම”ට හේතුවන තත්වයන් වේ. ඒ අනුව 89 (ඈ) අනු ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වී ඇත.
යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය:
එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේ ය.
ඒ අනුව අධිකරණයෙන් ඉහත කී ආකාරයෙන් වරදකරුවෙකු කළ අයෙකු හෝ මරණීය දණ්ඩනයට ලක් කළ පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත්වීමට, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඡන්දය භාවිතා කිරීමට නොහැක.
නමුත් යම් හෙයකින් අදාළ පුද්ගලයාට කොන්දේසි රහිත සමාවක් හිමිවන්නේ නම් එහිදී අදාළ නුසුදුසුකම අහෝසි වී යන බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ඒ අනුව එවැනි දඩුවමකට ලක්ව ඇති පුද්ගලයෙකුට අදාළ නුසුදුසුකම ඉවත් කර ගත හැක්කේ කොන්දේසි රහිත සමාවකින් හෝ ඉහළ අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කොට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමේ තීන්දුවක් ලබාගැනීමෙන් පමණි.
සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියැවීමට මෙතැනින් පිවිසෙන්න.

