2020 මහමැතිවරණය

2020 මහමැතිවරණයට සියල්ල සූදානම්, සියලු උපදෙස් මෙන්න

(RIVIRA.LK, 2020 අගෝස්තු 04 පස්වරු 10.20ට)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම අගෝස්තු 05 දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

අගෝස්තු 05 පෙරවරු 07.00 ට ආරම්භ කෙරෙන ඡන්ද විමසීම් කටයුතු පස්වරු 05.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. හැකිතාක් උදෑසනින්ම ගොස් තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියා.

එහෙත් කොරෝනා දින 14ක අනිවාර්ය නිරෝධායනය අවසන් කර නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින පුද්ගලයින්ට සහ වෛරසයෙන් සුව වී නිවෙස් නිරෝධායනයට ලක් කර සිටින පිරිසට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ පස්වරු 04.00ත් 05.00ත් අතර බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක් කර සිටින අය සහ ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින්ට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන බව මැතිවරණ කොමිසම කියා සිටියා.

2020 මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී සිදුකිරීමට නියමිතයි. එහිදී කොට්ඨාස 166කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගනු ලබන අතර ජාතික ලැයිස්තුවෙන් තවත් නියෝජිතයින් 29 දෙනෙකු පත් කර ගැනීමට නියමිතයි.

2020 මහමැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 312කින් අපේක්ෂකයින් 7,452ක් ඉදිරිපත් ව සිටී.

එසේම ඡන්දය භාවිතා කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885 එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහක්.

ඡන්ද දායකයින්ට විශේෂ උපදෙස්

සියලු ඡන්ද දායකයින් මුහුණු ආවරණයක් පැළඳ පැමිණීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම සඳහන් කළා. එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැකි නම් නිල් හෝ කළු බෝල තුඩු පෑනක් රැගෙන ඒමට අවස්ථාව ලබා දී තිබෙනවා. එසේ නොමැති පුද්ගලයින්ට ඡන්ද පොලේ දී ඒ සඳහා විෂබීජහරණය කළ පෑනක් ලබා දෙන බව ද කොමිසම සඳහන් කළා.

ඡන්ද පොළට ඇතුල් වීමේ දී විෂබීජනාශක දියර ලබාදෙන දෙන අතර එහිදී දෑත් පිරිසිඳු කරගෙන හැඳුනුම්පත ඉදිරිපත් කර මුහුණු ආවරණය ඉවත් කර අනන්‍යතාවය සනාථ කළ යුතු අතර ඉන් පසු නිල ඡන්ද පත්‍රිකාව නිකුත් කිරීමට පෙර හැඳුනුම්පත් නැවත ලබාගෙන පසුව ලබාදෙන විෂබීජනාශක දියරයෙන් දෑත් පිරිසිඳු කරගත යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගෙන ඡන්දය සළකුණු කර ඡන්ද පෙට්ටියට දැමීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත් වීමට පෙර යළි විෂබීජනාශක දියරය ලබාදෙන බවත් මැතිවරන කොමිසම සඳහන් කළා.

ඡන්දය සළකුණු කිරීමේ දී පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමක් යන දෙකෙන් එකක පමණක් සළකුණ ඉදිරියේ ඇති හිස් කොටුව තුළ “කතිරය” සළකුණු කිරීම වලංගු ඡන්දයක් වීමට අනිවාර්ය වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඉන්පසු කැමැත්ත පරිදි මනාප සළකුණු කළ හැකි අතර මානප 1ක් 2ක් හෝ උපරිම 3ක් සළකුණු කළ හැකි අතර අංකය මත “කතිරය” යෙදීමෙන් එය සළකුණු කළ යුතු බවද මැතිවරණ කොමිසම සඳහන් කළා.

මීට අමතරව ඡන්ද පත්‍රිකාව තුළ වෙනත් කිසිඳු සටහනක් හෝ සංඛේතයක් සටහන් නොකළ යුතු බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා. එසේ සටහන් යොදන ඡන්ද පත්‍රිකා අවලංගු වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු හැකි ඉක්මණින් නිවෙස් කරා හෝ රැකියා සඳහා යොමුවන ලෙස ද මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top