විදේශ

ලෙබනනයේ බේරූට් හී විශාල පිපිරීමක්, පිපිරීමෙන් කිලෝමීටර් ගණනාවක් දුරට හානි වෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 04 පස්වරු 11.52ට)

ලෙබනනයේ අගනුවර වන බේරූට් හී සිදුවූ ප්‍රබල පිපිරීමකින් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

බේරූට් වරාය ආසන්නයේ ගබඩාවක අගෝස්තු 04 අඟහරුවාදා පස්වරුවේ සිදු වූ දැවැන්ත පිපිරීම නිසා ගොඩනැගිලි රැසකට විශාල හානියක් සිදු වී ඇති අතර පිපිරීම සිදුවූ ස්ථානයේ සිට කිලෝ මීටර් ගණනක් දුරින් පිහිටි විවිධ ප්‍රදේශවල පවා ජනේල වීදුරු කැඩී ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ කියා සිටී. එය බේරූට් අගනුවර පුරා කම්පන තරංග යෑමක් මෙන් සිදු වී ඇති බව ඔවුන් පවසයි.

එරට ආරක්ෂක ප්‍රධානියා සඳහන් කරන්නේ පිපිරීම සිදු වී ඇත්තේ පුපුරණ යමක් පුපුරා යමෙන් මිස සරල පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් නොවන බවයි. එරට දේශීය මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීම සිදුවී ඇත්තේ වරාය ආසන්නයේ ඇති මහා පරිමාණ ගිනිකෙලි ගබඩාවක බවයි.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පවසන්නේ පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි. එසේම 10 දෙනෙකුගේ සිරුරු හමු වී ඇති බව ද එරට සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා. එසේම සිදුවීමෙන් තුවාල ලැබූ විශාල පිරිසක් විවිධ ප්‍රදේශවලින් රෝහල් වෙත පැමිණෙමින් සිටින බවද එරට සෞඛ්‍ය අංශ පවසනවා.

හෙලිකොප්ටර් සහ ගිනි නිවීමේ රථ විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් දැල්වෙමින් තිබූ විශාල ගින්න මේ වන විට තරමක් පාලනය කර තිබෙනවා.

සිදුවීම රූගත වී ඇති වීඩියෝවල දැක්වෙන්නේ විශාල තැඹිලිපාට ගින්නක් සහිත පිපිරීම සිදුවීමට පෙර පෙර විශාල ගබඩාවන් ඇති වරාය ප්‍රදේශයෙන් විශාල දුමාරයක් විහිදී යන අයුරුයි. ඒ සමගම ඉතා විශාල ගෝලාකාර හැඩැති පිපිරුම් තරංගයක් අහසට විහිදෙමින් ගින්නක් සමග විශාල පිපිරීමක් සිදුවන අයුරු දැක්වෙනවා.

පිපිරීමෙන් නගරය පුරා කිලෝ මීටර් ගණනාවක් යනතෙක් ඇති වීදුරු වෙළඳසැල් සහ ජනෙල් කවුළු සුනුවිසුනු වී ඇති අතර, සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝ සහ පින්තූර දැක්වෙන පරිදි ඒවා වීඩියෝ කරන පුද්ගලයින් අසල ඇති ජනෙල් ද බිඳී යන අයුරු දැක්වෙනවා.

2005 දී හිටපු අගමැති රෆික් හරිරි ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලැබීමට නියමිත පසුබිමක මෙම පිපිරීම සිදුවීම එරට වැසියන්ගේ ආතතියට හේතු වී තිබෙනවා.

පිපිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය පවසන්නේ පිපිරීම සමග තම රටේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top