2020 මහමැතිවරණය

මැතිවරණ දිනයේ දී තෙවරප්පෙරුම රථ පෙළපාලි ගියා ද? සත්‍ය මෙන්න

(RIVIRA.LK, 2020 අගෝස්තු 05 පස්වරු 11.45ට)

2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැති අගෝස්තු 05 දින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම රථ පෙළපාලි ගිය බවට දක්වමින් සමාජ ජාල තුළ බෙදා හැරෙමින් පවතින වීඩියෝව අගෝස්තු 05 දින සිදුවූ සිදුවීමක් නොවන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

මේ සම්බන්ධයෙන් රිවිර.lk කළ විමසීමක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ එම සිදුවීම අගෝස්තු 02 දින ඇති වූ තත්වයක් අතරතුර ලබාගෙන ඇති වීඩියෝ දර්ශනයක් බවයි.

හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ කළුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන රැස්වීම් කිහිපයකට සහභාගී වීම සඳහා මතුගමට පැමිණි බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණෙන පක්ෂ නායකයා පිළිගැනීමට යන අතරතුර ඇති වූ සිදුවීමක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

යම් පිරිසක් විසින් දේශපාලනික වාසි ලබාගැනීමේ උපක්‍රමය ලෙස අගෝස්තු 05 දින සිදුවූ යමක් ලෙස හුවා දක්වමින් එය ප්‍රචාරය කර ඇති බව ද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

වීඩියෝපටයේ දැක්වෙන සිදුවීමට පාදක වී ඇත්තේ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන අවසන් දිනය වූ අගෝස්තු 02 පස්වරුවේ වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ සිට මතුගම දක්වා එජාප නායක රනිල් වික්‍රමසිංහ කැඳවාගෙන ඒම සඳහා යමින් සිටි පාලිත තෙවරප්පෙරුම සහ පිරිසක් අතරමග දී පොලීසිය විසින් මාර්ග බාධකයක් යොදා නතර කිරීමට ගත් උත්සාහයකි.

එහිදී හිටපු මන්ත්‍රීවරයා ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති වී තිබෙන ආකාරය එම වීඩියෝවේ දැක්වෙන අතර මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියා.

නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක් – පිටුව ශ්‍රී ලංකාව තුළ වාරණය වේ

මේ අතර අගෝස්තු 05 දහවල් සිට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකාවට දිස් නොවන බව ද වාර්තා වේ. එයින් එම ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකාව තුළ වාරණයට ලක්වීමක් සිදුවී ඇති බව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන් කළා. එතෙර සිට සහ වීපීඑන් තාක්ෂණයෙන් ෆේස්බුක් වෙත පිවිසෙන පිරිස් සඳහා පමණක් පාලිත තෙවරප්පෙරුමගේ නිල ෆේස්බුක් පිටුව දිස්වන අතර ශ්‍රී ලංකාවේ සිට සාමාන්‍ය පරිදි ෆේස්බුක් පරිශීලනය කරන්නන් හට එම පිටුව දිස් නොවීම සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ නිල ෆේස්බුක් පිටු අතරින් වැඩිම පැතිරීමක් (Reach) තිබූ ෆේස්බුක් පිටුවක් ලෙස “පාලිත තෙවරප්පෙරුම” ෆේස්බුක් පිටුව හඳුනාගත හැකි ව තිබූ අතර මෙම වාරණය යම් කණ්ඩායමක් විසින් සංවිධානතාත්මක ලෙස එම පිටුව සැඟවීමට ගත් උපක්‍රමයක් විය හැකි බව ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top