(RIVIRA.LK, 2020 අගෝස්තු 06 පස්වරු 12.54ට)
කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 06 දින උපදෙස් දී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ ඊට අදාළ උපදෙස් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවයි.
කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජු විසින් සිය රාජ සභා මණ්ඩපය පවත්වාගන ගොස් ඇති බව කියන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ලීවලින් ඉදි කළ අට්ටාලයක් සහිත ස්ථානයක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණගේ මැදිහත්වීමෙන් ජූලි 14 අඟහරුවාදා රාත්‍රියේ දී කඩා බිඳ දමා විනාශ කර තිබුණා.
බුවනෙකබාහු රජුගේ රාජ සභාව පවත්වාගෙන ගිය බව කියන ලී අට්ටාලය හා එය ආරක්ෂා කිරීම සඳහා ගොඩනගා තිබූ ගොඩනැගිල්ල කඩා දැමීම පිලිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද මහින්ද රාජපක්ෂ විසින් පත් කළ විශේෂඥ කමිටුවේ අන්තර් කාලින වාර්තාවක් ජූලි 22 දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී තිබෙන අතර එම වාර්තාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කර තිබුණා.
එහි සිව්වැනි යෝජනාවෙන් වගකිවයුත්තන්ට දඩුවම් පමුණුවීම සහ පස්වැනි යෝජනාවෙන් අදාළ ස්ථානය යළි ප්‍රතිසංස්කරණය සඳහා වැයවන මුදල් වගකිව යුතු ආයතනවලින් සහ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට යෝජනා කොට නිර්දේශ කර තිබුණා.
වැරදිකරුවන්ට දඩුවම් දී වියදම් අයකරගන්න – කමිටුවෙන් අගමැතිට යෝජනා

