(RIVIRA.LK, 2020 අගෝස්තු 07 පෙරවරු 05.43ට)
9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් 225ක් තෝරාපත් කර ගැනීම සඳහා 2020 අගෝස්තු 05 දින පැවැත්වූ මහමැතිවරණයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2020 මහමැතිවරණයෙන් ඉතිහාසගත විජයග්‍රහණයක් වාර්තා කරමින් මන්ත්‍රී ආසන 145ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබෙනවා. ජාතික ලැයිස්තුවෙන් 17ක් සහ දිස්ත්‍රික් පදනමෙන් 128ක් ලෙස එය ලබාගෙන ඇති අතර තුනෙන් දෙකක බලය වන ආසන 150ට ආසන්න තනි බලයක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. එසේම පොහොට්ටුවට සහය පළ කරනු ඇති බව සැළකෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඊ.පී.ඩී.පී. පක්ෂය ලබාගත් ආසන 3ත් කරුනා අම්මාන්ගේ පක්ෂය ලබාගත් ආසන 2ත් සමග ආසන 150 සම්පූර්ණ කරනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි. එසේම අපේ ජන බල පක්ෂය ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වීමට අපේක්ෂා කරන බව සිය මැතිවරණ ව්‍යාපාරය තුළ සඳහන් කළා.
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වූ සමගි ජනබලවේගය, ප්‍රධාන විපක්ෂය බවට පත් වෙමින් මන්ත්‍රී ආසන 54ක් ලබා ගැනීමට සමත් වුවද බොහෝ දිස්ත්‍රික්වලින් ඉතාමත් අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබීම කැපී පෙනිණ.
ජාතික ජනබලවේගය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලින් එක් මන්ත්‍රී ආසනය බැගින් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් ද එක් මන්ත්‍රීධූරයක් ලබා ගනිමින් මන්ත්‍රීධූර 3ක් ලබා ගැනීමට සමත් විය. මෙවර ද ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 3.8%ක් පමණ විය.
මෙරට තනි විශාලම දේශපාලන පක්ෂය ලෙස සැළකුනු එක්සත් ජාතික පක්ෂය සියලු දිස්ත්‍රික්වලින් ප්‍රතික්ෂේප වූ අතර දිස්ත්‍රික් පදනමෙන් එක් මන්ත්‍රී ආසනයක්වත් දිනා ගැනීමට සමත් වූයේ නැත. ඒ අනුව එජාපයට ජාතික ලැයිස්තුවෙන් 1 මන්ත්‍රීධූරයක් පමණක් හිමි විය. දිවයිනේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 2%ක පමණ ප්‍රමාණයකට සීමා වීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවිය.
උතුරේ ද මෙවර ප්‍රතිඵලය තරමක් වෙනස් ස්වරූපයක් ගත් අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනදා තරම් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට අසමත් විය. ඔවුන් සමස්ත මන්ත්‍රී ආසන 10ක් ලබා ගැනීමට සමත් වූ අතර දිස්ත්‍රික් පදනමෙන් ආසන 9කුත් ජාතික ලැයිස්තුවෙන් 1ක් ආසනයකුත් ලෙස ලබා ගෙන තිබෙනවා.
ඊළාම් ජනතා විමුක් පෙරමුණ දිස්ත්‍රික් පදනමෙන් පමණක් ආසන 2ක් දිනාගත් අතර කරුණා අම්මාන්ගේ ද්‍රවිඩ මහ සභා පක්ෂය දිස්ත්‍රික් පදනමෙන් 1ක් ආසනයකුත් ජාතික ලැයිස්තුවෙන් 1 ආසනයකුත් ලෙස ආසන 2ක් ලබාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ටී.එම්.වී.පී, මුස්ලිම් ජාතික සන්ධානය, ටී.එම්.ටී.කේ, ඒ.සී.එම්.සී, එන්.සී, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1ක් මන්ත්‍රී ආසනය බැගින් දිනාගැනීමට සමත් විය.
මෙවර සුවිශේෂීම සිදුවීම වන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ අපේ ජනබල පක්ෂය බොහෝ දිස්ත්‍රික්ක වලින් 5වැනි ස්ථානයටත් ඇතැම් ආසනවල තුන්වැනි හා සිව්වැනි ස්ථානයටත් පත්වෙමින් ඡන්ද ලබා ගැනීමට සමත් විය. එහෙත් දිස්ත්‍රික් පදනමෙන් ආසනයක් දිනාගත නොහැකි වුවද ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට සමත් වී තිබෙනවා. එම පක්ෂය මීට පෙර පැවසුවේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ ඥානසාර හිමියන්ව බවයි.
සමස්ත ආසන දිනා ගැනීම දිස්ත්‍රික් හා ජාතික ලැයිස්තු සමග මෙසේය.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 128+17=145
- සමගි ජන බලවේගය – 47+07=54
- ඉලංගෙයි තමිල් අරසු කච්චි – 09+01=10
- ජාතික ජන බලවේගය – 02+01=03
- ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය – 02
- අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් – 01+01=02
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 01
- එක්සත් ජාතික පක්ෂය – 01
- අපේ ජන බල පක්ෂය -01
- ජාතික කොංග්‍රසය – 01
- තමිල් මක්කල් තේසීය කූට්ටනි – 01
- තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් – 01
- ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් – 01
- අහිල් ඉලංගෙයි මක්කල් කොංග්‍රස් – 01
- මුස්ලිම් ජාතික සන්ධානය – 01
ඒ අනුව මෙවර දේශපාලන පක්ෂ 15ක් මෙරට 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.


