2020 මහමැතිවරණය

විපක්ෂයේ 18ක් ආණ්ඩුවට එන්න පොරකති

(RIVIRA.LK, 2020 අගෝස්තු 08 පස්වරු 02.24ට)

මිත්‍ර පාර්ශවවල සහය සමග තුනෙන් දෙක ඉක්මවූ පාර්ලිමේන්තු බලයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට සහය පළ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ පිරිසක් උනන්දු වන බව රිවිර.lk වෙත වාර්තා වේ.

ඇතැමුන් මෙවර පළමු වරට පාර්ලිමේන්තු වරම් ලැබූ පිරිස් වන අතර මනාප ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ඒ ඒ දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් හා ආණ්ඩුවට හිතවත් සංවිධාන හා පුද්ගලයින් මාර්ගයෙන් ආණ්ඩුවට එක්වීමට ඉල්ලා සිටින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඇතැම් දිස්ත්‍රික්කවලින් සමගි ජනබලවේගය දිනූ එක් මන්ත්‍රී ආසනය දිනාගත් පුද්ගලයින් පවා මෙලෙස ආණ්ඩු පක්ෂය සමග එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර එලෙස පැමිණෙන කිසිවෙකුට අමාත්‍යධූර ලබාදීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නිලධාරීන් දැනුම් දී ඇතැයි ද පැවසේ.

මෙලෙස ආණ්ඩුව සමග එක්වීමට උත්සාහ දරන පිරිස 18ක් පමණ වේ. මෙයින් බහුතරයක් සමගි ජනබලවේගය නියෝජනය කරන අය බව ද වාර්තා වේ.

මෙම පිරිස අතර සුළු ජන කොටස් නියෝජනය කරන නායකයින් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිටින බව පැවසෙන අතර ආණ්ඩුව පාර්ශවයෙන් මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ඔවුන් වෙත ලැබී නැති බව ද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top