2020 මහමැතිවරණය

අධිකරණ ඇමති අලි සබ්රි ද? “හඳුන්වා දුන්නෙ මමයි” – දෙරණෙ දිලිත් කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 10 පස්වරු 02.17ට)

2020 මහමැතිවරණයෙන් ලද අති විශිෂ්ඨ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේ ඉහළින්ම සිටින නියෝජිතයෙකු වී ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි යි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ළඟින්ම සිටින පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනා හඳුනාගෙන සිටී.

එසේම නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම අගෝස්තු 12 දින මහනුවර මගුල් මඩුවේ දී පැවැත්වීමට ද රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍යධූර බෙදී යාම සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව අධිකරණ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි පත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග මෙන්ම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ද පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළින් තොරතුරු වාර්තා වීමත් සමග සමාජයේ යම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණ ඇමතිවරයා ලෙස පත් කිරීමට පිරිසක් දැඩි ලෙස විරුද්ධ වීමයි.

මේ අතර දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවෙකු වන නීතිඥ දිලිත් ජයවීර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි ඔහුගේ මිතුරෙකු වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති නීතිඥ අලි සබ්රි හඳුන්වා දුන්නේ ද තමන් විසින් බවයි.

එම සටහන පහතින්

“අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ “විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ” දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉදන් කටයුතු කරන කෙනෙක්. වර්තමාන ජනාධිපති තුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.

ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම් තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.

එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට
නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.

ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.

ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.

ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.

Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.”

මේ අතර පසුගිය දිනෙක උප්පැන්න සහතිකයෙන් ජාතිය ඉවත් කර “ශ්‍රී ලාංකික” ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ඔහු සිය ප්‍රසාදය පළ කිරීම සම්බන්ධයෙන් සිංහල සමාජය තුළ ප්‍රබල විරෝධයක් එල්ල වී තිබුණි.

ඊට පෙර කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය විරෝධය පළ කරමින් කියා සිටියේ එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද රීතීන්වලට පටහැනි විද්‍යාත්මක නොවන තීරණයක් බවයි. ඔහු සඳහන් කළේ කොරෝනා දේහයන් සම්බන්ධයෙන් විද්‍යාත්මක මතයක පිහිටා කටයුතු කළ යුතු බවයි. එහිදී ද සිංහල සමාජයෙන් ඔහු කෙරේ විරෝධයක් ගොඩ නැගෙමින් තිබූණි.

ඉන් පසු ඔහු විසින් අල් ජසීරා පුවත් සේවයේ දේශීය නියෝජිතයෙකුට ලබා දුන් ප්‍රකාශයක් හේතුවෙන් ද යළි කතාබහට ලක් විය.

Rivira FB Group Rivira Youtube
To Top