2020 මහමැතිවරණය

ශ්‍රී ලාංකේය දේශපාලනයේ මහින්ද සළකුණ

පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අගෝස්තු 11 පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේ අගෝස්තු 09 දින ඓතිහාසික කැළණි රජමහ විහාරයේ දී ය.

මහින්ද රාජපක්ෂ මෙවර අග්‍රාමාත්‍යධූරයට පත්වන්නේ සිය දේශපාලන දිවියේ සිව්වැනි වරටයි. අගෝස්තු 05 පැවති මහමැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂ මෙරට මැතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ලැබූ ඉහළම ඡන්ද ප්‍රමාණය වන 527,364ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සිව්වන වරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මහින්ද රාජපක්ෂ

2020 වසර වන විට සක්‍රීය දේශපාලනයේ දශක පහක් සම්පූර්ණ කරන මහින්ද රාජපක්ෂ 1945 නොවැම්බර් මස 18 දින දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ගම්මානයේ දී උපත ලැබීය. මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වන ඩී. ඒ. රාජපක්ෂ ඔහුගේ පියා යි. කොළඹ නාලන්ද විද්‍යාලයෙන් හා තර්ස්ටන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ

1967 වසරෙ දී ඔහුගේ පියාගේ මරණයෙන් පසුව, මහින්ද රාජපක්ෂ බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වූ අතර වයස අවුරුදු 24 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙ දී තේරී පත් විය. පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

1977 වසරේ දී ශ්‍රීලනිපය මුහුණ පෑ දරුණු පරාජයේදී ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමිවූ අතර යළිත් 1989 වසරේ දී පාර්ලිමේන්තුවට යළි තේරී පත්වූයේ සමානුපාතික නියෝජනය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

කැබිනට් අමාත්‍ය මහින්ද රාජපක්ෂ

1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි බලයට පැමිණීමත් සමග චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් මහින්ද රාජපක්ෂ, කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි. එතැන් සිට මෙරට වගකිව යුතු අමාත්‍යංශ රැසක් මෙහෙයවීමේ වගකීම ඔහු වෙත පැවරී තිබිණී.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

2001 මැතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂය, පොදු පෙරමුණ පරාජය කිරීමෙන් පසු 2002 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසින් පත් වූයේ මහින්ද රාජපක්ෂ යි.

අගමැති මහින්ද රාජපක්ෂ

2004 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂවයි. එය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධූරයට පත් වූ ප්‍රථම අවස්ථාවයි.

පසුව 2018 ඔක්තෝබර් 26 දින දෙවැනි වතාවටත් ඔහු මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙන්නේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. අධිකරණයේ තීරණය මත දින 52කින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන අතර 2019 නොවැම්බර් මාසයේ දී මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් වීමෙන් පසු තෙවැනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙයි. පසුව 2020 අගෝස්තු මස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී මෙරට මැතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ලැබූ ඉහළම ඡන්ද ප්‍රමාණය වන 527,364ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සිව්වන වරටත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ

2005 නොවැම්බර් 17 දින පැවති ජනාධිපතිවරණයේ දී හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජය කර මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ තේරී පත් වූයේ වැඩි ඡන්ද ලක්ෂ 2කට වඩා අඩු ප්‍රමාණයකිනි.

පසුව 2009 වසරේ දී ලැබූ යුධ ජයග්‍රහණයෙන් පසු පැවති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 18කින් පමණ නැවතත් ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

යුද්ධය නිමා කර, සාමය කැන්ඳූ නායකයා

30 වසරක කුරිරු යුද්ධය නිමා කරමින් රට එක්සේසත් කළ නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක් වූයේ 2009 වසරේ දී ය. ජාත්‍යන්තරයෙන් පැමිණි බොහෝ බාධක හමුවේ නොසැලී ජයගහ්‍රණය තෙක්ම යුද්ධය මෙහෙයවා අවම ජීවිත හානි සමග රට තුළ යළිත් සාමය ස්ථාපිත කිරීමට මහින්ද රාජපක්ෂට හැකිවිය.

ජය පරාජය එක ලෙසින් විඳි මහින්ද රාජපක්ෂ

සිය දේශපාලන දිවියේ ආරම්භයේ සිටම ජය පරාජය එක ලෙසින් උරුම කරගෙන සිටින මහින්ද රාජපක්ෂ 1970 මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසිය ද 1977 දී පරාජයට පත් වී පාර්ලිමේන්තු ආසනයත් අහිමි විය. ඉන්පසු 1989 වසරේ දී නැවතත් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ 1994 දක්වා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඉන්පසු 1994 සිට 2001 වසර දක්වා බලයේ සිටි පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ අතර ඉන්පසු නැවත විපක්ෂයට යාමට සිදුවිය. පසුව විපක්ෂ නායක ධූරයට පත් වූ ඔහු 2004 වසරේ දී අගමැතිවරයා ලෙස පත් වී 2005 වසරේ දී මෙරට ජනාධිපතිවරයා බවට පත් විය. ඉන්පසු 2015 වසරේ දී නැවතත් පරාජයට පත් විය. එහෙත් ජනතාවට ඔහු සමගම සිටීමත් විමල් වීරවංශ ප්‍රමුඛ ඉහළ පෙළේ රාජපක්ෂ හිතවාදීන්ගේ පෙරැත්ත කිරීමත් සමග මසක් තුළ යළිත් සක්‍රීය දේශපාලනයට පිවිසීමට මහින්ද රාජපක්ෂට සිදුවූ අතර 2015 අගෝස්තු මාසයේ දී පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ පිල යළි පරාජයට පත් වූයේ එජාපයට වැඩි ආසන ප්‍රමාණයක් ලැබීමත් සමගය.

එහෙත් 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේ සිට යළිත් අඛණ්ඩව ජයලැබූ ඔහු මෙරට දේශපාලනඥයෙකු ලැබූ ඉහළම මනාප සංඛ්‍යාව ද ලබාගත්තේ ය. එසේම කිසිදිනෙක සමානුපාතික ක්‍රමය යටතේ ලබාගත නොහැකි බව කියූ තුනෙන් දෙකක ආණ්ඩු බලය, මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයකින්ම ලබා ගැනීමට සමත් වූ නායකයා යි.

Rivira FB Group Rivira Youtube
To Top