(RIVIRA.LK, 2020 අගෝස්තු 11 පස්වරු 05.48ට)
කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 07 වන දිනයි.
එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් නැවතත් අගෝස්තු 10 දින අධිකරණය වරෙන්තු නිකුත් කරමින් නියෝග කර සිටියේ දින දෙකක් තුළ අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කළ යුතු බවයි.
එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන ලෙසත් ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි විසින් අභියාචනාධිකරණය හමුවේ අගෝස්තු 11 දින රිට් පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර තිබෙනවා.
අදාළ රිට් පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කිරීමට පියවර ගත් බවයි.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයෙකු එම සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධීකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරීම ඇතුළු සිදුවීම්වලින් පසුව පොලීසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අදාළ විමර්ශනයෙන් පසුව තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අගෝස්තු මස 07 දින වරෙන්තු ලබාගෙන ඇති බවත් පෙන්වාදුන් කුරුණෑගල නගරාධිපතිවරයා එම වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය ද නීතියට පටහැනි බවට තර්ක කර තිබෙනවා.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි බව ද එම පෙත්සමෙන් කුරුණෑගල නගරාධීපතිවරයා කියා තිබෙනවා.
ඒ අනුව තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ද ජනමාධ්‍ය ඔස්සේ තමන් වෙත දැනගන්නට ලැබුණු බව කියා සිටින පෙත්සම්කරු පවසන්නේ එය නීතීයට පටහැනි බවයි. එබැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටී.
- වැරදිකරුවන්ට දඩුවම් දී වියදම් අයකරගන්න – කමිටුවෙන් අගමැතිට යෝජනා
- කඩා බිඳ දැමූ බුවනෙකභාහු රජුගේ අට්ටාලය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර, කඩා බිඳ දැමූවන් තවමත් නිදැල්ලේ – මෙතෙක් කතාව

