,
News

“පිත්තට කතා කරන්න ඉඩ දෙන්න” – අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 12 පස්වරු 02.33ට)

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 12 පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේ දී සිදුකෙරිණි.

එහිදී අධිකරණ විෂයභාර කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනාධිපති නීතිඥ මොහමඩ් උවයිස් මොහමඩ් අලි සබ්‍රි යි. අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔහු පත් කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් එල්ල වී තිබූ අතර ඔහු සඳහන් කර ඇත්තේ එම සියලු චෝදනා පදනම් විරහිත මඩ ප්‍රහාර බවටයි.

අධිකරණ ඇමතිධූරය ලබා ගැනීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ “Let the bat do the talking !” ලෙසයි. එනම් පිත්තට කතා කරන්න ඉඩ දෙන්නැයි ඔහු පවසා ඇත. ඉන් ඔහු අදහස් කරන්නට ඇත්තේ එල්ල වූ චෝදනාවලට “වැඩවලින් පිළිතුරු දෙන බව” විය හැකියි.

අලි සබ්‍රි යනු කවුද?

කළුතර උපත ලබා කළුතර මුස්ලිම් මහා විද්‍යාලයෙන් සහ මරදාන සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහමඩ් අලි සබ්‍රි පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ ලේකම්ධූරයත් සිංහල විවාද කණ්ඩායමේ උප නායකත්වයත් දරා ඇති අලි සබ්‍රි ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

1997 වසරේ දී සෞදි අරාබියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා. එසේම 2012 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් අලි සබ්‍රි මෙරට වැදගත් නඩු රැසකට පෙනී සිටි නීතිඥවරයෙකි.

විමල් වීරවංශ ලියූ නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථය පළ කිරීමට එරෙහිව වාරණය ලබා ගැනීම වෙනුවෙන් වූ නඩුවේ දී ඊට පෙනී සිට ඇත්තේ ද අලි සබ්‍රි වන අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රෝහිත බෝගොල්ලාගම ඇතුළු පිරිසක් පක්ෂයෙන් ඉවත් කළ අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් ද පෙනී සිට ඇත්තේ ඔහු යි.

පසුව දෙරණ හිමිකරු නීතිඥ දිලිත් ජයවීර විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත හඳුන්වා දී ඇති අතර එතැන් පටන් හිටපු ආරක්ෂක ලේකම්ව සිටි සමයට අදාළව යහපාලන රජය විසින් පැවරූ නඩු කිහිපයක දීම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් සහ නීතිඥවරුන් සම්බන්ධීකරණය කරමින් සහය දී ඇත්තේ අලි සබ්‍රි බව සඳහන්.

Rivira Ads
To Top