(RIVIRA.LK, 2020 අගෝස්තු 12 පස්වරු 04.23ට)
බුවනෙකබාහු රාජ මණ්ඩපය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබෙන වරෙන්තු අගෝස්තු 24 දින දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය අගෝස්තු 12 දින නියෝග කළේ ය.
අදාළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන ලෙසත් ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි විසින් අභියාචනාධිකරණය හමුවේ අගෝස්තු 11 දින රිට් පෙත්සම් දෙකක් ගොනු කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය බාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සහ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නම් කර තිබුණි.
අදාළ රිට් පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කිරීමට පියවර ගත් බවයි.
එම රිට් පෙත්සම් අගෝස්තු 12 දින මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළහ.
මෙහිදී විනිසුරු මඬුල්ල අවධාරණය කළේ මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව සහ දැනට නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දු ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන බැවින් එම වරෙන්තු ලබන 24 දින තෙක් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගයක් නිකුත් කර තිබෙනවා.

