(RIVIRA.LK, 2020 අගෝස්තු 13 පස්වරු 01.16ට)
2020 අගෝස්තු 05 දින පැවැත්වූ මහමැතිවරණයෙන් 09 වැනි පාර්ලිමේන්තුව සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දිනා ගැනීමට ඔවුන් සමත් විය. ඒ සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නම් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ නම අගෝස්තු 12 දින මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව 08 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස හා නිහාල් ගලප්පත්ති යන පිරිසට 09 පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
මෙවර මහමැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක පත්කරනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කරනු ලැබුවා. එහෙත් අවසානයේ දී එම අවස්ථාව ජාතික ජනබලවේගයට ලබා දීම සුවිශේෂී සිදුවීමකි.
හරිනි අමරසූරිය යනු කවුද?
ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී උපාධියක් හිමිකරගත් ඇය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී මර්කරි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව, සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ද හිමි කරගෙන තිබෙනවා. පසුව එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද හරිනි අමරසූරිය විසින් හිමිකරගෙන තිබෙනවා.
ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් තොරව මුදල් ගෙවීමේ පදනම මත ඇතුල් විය හැකි විශ්වවිද්‍යාලයකින් සිය මූලික උපාධිය හැදෑරූ අයෙකු පළමු වරට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීම ද සුවිශේෂී තත්වයකි.
ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවකි.
පාර්ලිමේන්තුවට තේරී පත්වන විට, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරමින් සිටියා.
නෙස්ට් නැමැති දේශීය රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකත්වය ද දරන හරිනි අමරසූරිය තරුණ විරැකියාව සහ ගැටුම්, ස්ත්‍රී පුරුෂ භාවය, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය යන ක්ෂේත්‍රවල පර්යේෂණ රැසක් සිදුකර ඇති බව සඳහන්.
එසේම යහපාලන රජය සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක ලෙස ද ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු කර ඇත.

