2020 මහමැතිවරණය

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක කවුද? පාර්ලිමේන්තුවේ තනතුරු ඇමතිකම් නැති අයට!

(RIVIRA.LK, 2020 අගෝස්තු 13 පස්වරු 02.24ට)

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායකධූරය පත් කරගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූ අවස්ථාවේ දීයි. ඒ අනුව අගෝස්තු 20 දින එය සිදුවීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 04 යටතේ කථානායකවරයා පත්කර ගත යුතුයි. මේ වන විට වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුවේ හිමි බැවින් ආණ්ඩු පක්ෂයට කථානායකවරයා තීරණය කිරීමේ වැඩි අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි කථානායකධූරයට නම් 3ක් සළකා බලමින් සිටින බව වාර්තා වේ. එයින් පළමු වැනියා වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන අතර අනෙක් දෙදෙනා වන්නේ මහින්ද යාපා අබේවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ යි.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන කථානයකධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරුන් රැසක්ම තම විරෝධය පළ කර ඇති බව ද වාර්තා වේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ අදහස වී ඇත්තේ කථානායකවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විය යුතු බවයි. ඒ අනුව මහින්ද යාපා ඊට වඩාත් සුදුසු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන සුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් පවසා ඇත්තේ කථානායකධූරයට මහාචාර්ය තිස්ස විතාරණ පත් කළ යුතු බවයි. මින් මහින්ද යාපා අබේවර්ධන පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා පෙන්වා දෙයි.

මේ අතර සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක යන තනතුරු අමාත්‍යධූර නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ.

එහිදී බොහෝදුරට සභානායකධූරයට සුසිල් ප්‍රේමජයන්ත් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරයට අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් පත් කිරීමට ඉඩ ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top