දේශීය පුවත්

ඩලස් අලහප්පෙරුම විදුලි බල ඇමතිවරයා ලෙස වැඩ භාර ගනී

(RIVIRA.LK, 2020 අගෝස්තු 13 පස්වරු 07.40ට)

නව රජයේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කොළඹ පිහිටි විදුලිබල අමාත්‍යංශයේදි අගෝස්තු 13 දින රාජකාරී ආරම්භ කළේය.

සාමාන්‍යයෙන් ධූරයේ දිවුරුම් දුන් වහාම නැකැත් බැලීමකින් තොරව හැකි ඉක්මණින් රාජකාරි භාරගන්නා පුද්ගලයෙකු වන ඩලස් අලහප්පෙරුම කිසිඳු උත්සවයකින් තොරව සුපුරුදු පරිදි චාම් අයුරින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

එම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සහභාගී විය.

විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් පැවති මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිතුමාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට අප සියලු දෙනාම ඇපකැපවිය යුතු බවත්, රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙම අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව අතිගරු ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරන බවත්, එතුමා කෙරෙහි ජනතාව තුල පවතින විශ්වාසය මත එතුමාව ජයග්‍රහණයට පත්කර ඇති බවත්, අතිගරු ජනාධිපතිතුමා තමා කෙරෙහිත් එවැනිම විශ්වාසීභාවයක් තබා මෙවැනි වැදගත් අමාත්‍යාංශයක අමාත්‍ය ධූරයක් පවරා ඇති බවත්, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා තමා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන බවත්ය. එසේම අමාත්‍යවරයා විසින් අද පටන් මෙම කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවත්, කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය එතුමාට ලැබෙන බව දැඩිව විශ්වාස කරන බවත්, තවදුරටත් පවසන ලදී.

තවද නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ඇරඹූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය සහ විදුලි පාරිභෝගික ජනතාවගේ ශුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියේදී කලයුතු කටයුතු සම්බන්ධව අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග නිල සාකච්ඡාවකටද සහභාගි විය.

නව ධූරයට පත් වීමට පෙර පැවති රජයේ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රවාහන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇතුළු අමාත්‍යංශ රැසක් හොබවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top