,
Politics

රනිල් තවත් මාස 6කට එජාපයේ නායකත්වයට

(RIVIRA.LK, 2020 අගෝස්තු 14 පස්වරු 08.11ට)

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අගෝස්තු 14 වන දින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. එහිදී මේ පිළිබඳව, පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

එහිදී, එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා තවත් මාස 6ක කාලයක් ලබා ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව තීරණයක් ගෙන නොමැත.

පසුගිය අගෝස්තු 5 වනදා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත්වූ අතර, අනතුරුව, වසර 26 ක කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඒ අනුව, නව පක්ෂ නායකත්වය සඳහා නම් 8ක් යෝජනා වූ අතර පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග සහ පාලිත රංගේ බණ්ඩාර යන අයගේ නම් යෝජනා විය.

එමෙන්ම, පක්ෂය ඉල්ලීමක් කරන්නේ නම් නායකත්වය භාර ගැනීම සඳහා තමන් සූදානම් බව හිටපු කථානායක කරු ජයසූරිය අගෝස්තු 13 වන දින තම කැමැත්ත පළ කර තිබුණා. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන ද එදින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, දේශපාලන පක්ෂයක් ලෙස යළි ශක්තිමත්ව නැගී සිටීම සඳහා පුළුල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බවයි.

ඒ අනුව, අගෝස්තු 14 වන සිකුරාදා දින රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී හිටපු කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ගෙන තිබෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, කරූ ජයසූරියට පක්ෂව කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පක්ෂ නායකත්වය සඳහා ඔහු සුදුසු බවයි. පක්ෂ නායකත්වය භාර ගැනීමට කැමති බවට කරූ ජයසූරිය තමන්ට ද දැනුම් දුන් බවත්, ඒ අනුව, ඒ පිළිබඳව ද සලකා බැලිය හැකි බව නායක රනිල් වික්‍රමසිංහ ද කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, රවී කරුණානායක, එහිදී පවසා ඇත්තේ ‘‘නායකත්වය ගැන තවම හදිස්සියක් නැහැනෙ.’’ අපට තව ටිකක් ඉදලා තීරණයක් ගන්න පුළුවන් යනුවෙන්’’ ය. රනිල් වික්‍රමසිංහ ඊට ප්‍රතිචාර දක්වමින් ‘‘මම කැමතියි නායකත්වය භාර දෙන්න, ඒ ගැන ඔයාලා තීරණයක් ගන්න ඕනෙ මොකක්ද කරන්නෙ කියලා.’’ යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. වජිර අබේවර්ධන කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ‘‘ඡන්දය පරාද වුණ ගමන් නිසා නායකත්වය ගැන තීරණයක් ගන්න තව ටිකක් ඉඳලා බලමු, ඒ ගැන පස්සෙ කතා කරමු. ’’ යනුවෙන් ය.

කෙසේ වෙතත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ තරුණයෙකු ඉදිරි නායකත්වය සඳහා පත් කළ යුතු බවයි. ඒ අනුව, මේ වනවිට පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වය තෝරා ගැනීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය පළ වී තිබෙනවා

ඒ අනුව, ඉදිරි මාස 6 ක කාලයක් ඔවුන්ට ලබාදෙන අතර, රනිල් වික්‍රමසිංහ අදාළ මාස 6 තුළ තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ඇත.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද අද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැණුන ද ඒ පිළිබඳව ද එකඟතාවකට පැමිණීමට හැකිවී නැහැ. කෙසේ වෙතත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ දේශපාලන පක්ෂවලට එම මන්ත්‍රී ධුර සඳහා නම් යෝජනා කිරීමට ලබාදී තිබූ කාලය අගෝස්තු 14 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.

Rivira Ads
To Top