දේශීය පුවත්

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අටක් ගැසට් කෙරේ

(RIVIRA.LK, 2020 අගෝස්තු 15 පෙරවරු 10.40ට)

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනාගේ නම් මේ වනවිට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම මන්ත්‍රී ධූර හිමි වූයේ, රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අයටයි.

එමෙන්ම, ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවූ ආචාර්ය හරිනි අමරසූරියගේ නම ද මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29න් 27ක් මේ වන විට සම්පූර්ණ කර අවසන්.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දීමට තිබූ කාලය අගෝස්තු 14 දිනයෙන් අවසන් වුණා. මෙතෙක් අදාළ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් නොකළ පක්ෂ සඳහා ඉදිරියේ ඕනෑම දිනකදී යළි කොමිසම දැනුවත් කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙහි නම් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. ක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සඳහා කිසිවකුත් නම් නොකළේ පක්‍ෂ අභ්‍යන්තරයේ මතු වු ගැටළු කිහිපයක් මෙතෙක් විසදා නොගැනීම හේතුවෙන් මෙතෙක් ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කිසිවෙකුට හිමි වී නැහැ.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සම්බන්ධයෙන් තවදුරටත් එම පක්‍ෂය තුළ උණුසුම් තත්ත්වයක් පවතින අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදි පැවසුවේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණයට යාමට තමන් සූදානම් බවයි.

කෙසේවෙතත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසඳා ගතයුතු බවයි. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ ලේකම්වරුන් යැයි පවසන දෙදෙනෙකු මේ වනවිටත් මැතිවරණ කොමිසමට ලිපි දෙකක් යොමුකර තිබෙනවා.

මේ අතරතුර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ‍කාරී තත්ත්වය විසඳා ගැනීම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන තිබු අතර එහිදී නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇත්තේ අපේ ජන බල පක්ෂයේ ලේකම් ලෙස වරම හිමිකරගෙන ඇති පුද්ගලයාගේ සහ මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයා ලෙස සලකන පුද්ගලයාගේ නාම යෝජනාව භාරගන්නා ලෙසයි.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ද මෙතෙක් කිසිවෙකුගේ නමක් යෝජනා වී නොමැති අතර ඊයේ (14) පෙරවරුවේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ මූලස්ථානයේ දී රැස්වී පැවති සාකච්ඡාවේදී ද තීරණයක් ගැනීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත්, ඔවුන් එහිදී තීරණයක් ගෙන තිබුනේ, පක්ෂ නායකත්වය සඳහා තරුණ පරපුරට අවස්ථාවක් ලබා දිය යුතු බවයි. නමුත් මාස 6ක් යන තෙක් එම තීරණය ද කල් දැමීමටත් එතෙක් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයේ සිටීමටත් තීරණය කර ඇත.

ඒ අනුව, පාර්ලිමේන්තුව ආරම්භ වන ලබන 20 වනදා තෙක් එම පක්ෂ දෙකේ නම් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නොහැකි වුවහොත්, පාර්ලිමේන්තුවේ නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල්. ජි. පුංචිහේවා පැවසුවේ අදාළ පක්ෂ දෙකට පාර්ලිමේන්තුව තුළ හිමි ආසන දෙක පුරප්පාඩු සහිතව තබා පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top