(RIVIRA.LK, 2020 අගෝස්තු 17 පස්වරු 06.56ට)
අගෝස්තු 17 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 12.35 සිට දිවයින පුරා විදුලි සැපයුම ඇණ හිට ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සවස 6 වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුම යළි යථා තත්වයට පත් වී තිබෙනවා.
කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ දෝෂයක්
විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට ඇමතිවරයාගෙන් විශේෂ කමිටුවක්
ජල සැපයුමත් නවතී
ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්වයට
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ විදුලිය බිඳ වැටීමට හේතු වී ඇත්තේ, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් බවයි.
කෙසේ වෙතත් විදුලිය ඇණහිටි වහාම මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ විදුලි සැපයුම හැකි ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට සියලු දෙනා දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි. එසේම ඉංජිනේරු අංශ පවසන පරිදි පැය 2-3ක කාලයක් තුළ විදුලි සැපයුම යථා තත්වයට පත්වනු ඇති බව ඔහු සඳහන් කළා.
නමුත් පැය 5ක් ඉක්ම යනතුරුත් විදුලි සැපයුම යථා තත්වයට පත් නොවීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී ඇතැම් පිරිස් මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි සැක පළ කර සිටි අතර ඇතැමුන් පෙන්වා දී තිබුණේ මෑත කාලීනව නිලධාරියෙකු මාරු කිරීම මීට හේතු වූවා විය හැකි බවයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයා පසුව කියා සිටියේ මෙය කඩාකප්පල් ක්‍රියාවක් යැයි තමන් විශ්වාස නොකළද මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා වෙත උපදෙස් දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව අගෝස්තු 18 පෙරවරු 08.30 ට රැස්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කලේ ය.
එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ මීට පෙර පත් කළ කමිටු මෙන් ඒම කමිටුවටද සිදුවූ දෙයක් සොයා ගත නොහැකිවනු ඇති ද යන්නයි. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන් අතීතයට වගකියන ඇමතිවරයෙකු නොවන නමුත් වර්තමානයට වගකියන ඇමතිවරයෙකු බවයි. ඒ අනුව එම කමිටු වාර්තාව සතියක් තුළ තමන් වෙත ලබා දීමට කටයුතු කරන තමන් උපදෙස් දුන් බව කී අමාත්‍යවරයා සඳහන් කළේ තමන් පත් කරන කමිටු සහ ඒවායේ වාර්තා පිළිබඳ වගකීම තමන් දරණ බැවින් හරි හෝ වැරදි වේවා එම කමිටු වාර්තාව මත අදාළ තීරණ ගනු ලබන බවයි.
මේ අතර දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් පසුව ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 3-5 ත් අතර කාලයක් ගතවනු ඇති බවයි.

