(RIVIRA.LK, 2020 අගෝස්තු 17 පස්වරු 08.40ට)
සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් මුල්වරට මාධ්‍ය වෙත අනාවරණය කර ඇත්තේ 2019 වසරේ ජනවාරි මස 08 වන දින මරදාන සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.
මේ පිළිබඳ යළිත් අවධානය යොමුවන්නේ වැසි වනාන්තර සුරකින්නෝ නම් සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමත් සමගයි.
නමුත් ඒ පිළිබඳ 2019 වසරේ ජනවාරි 08 දින “ලංකාදීප” පුවත්පතේ පළ වූ වාර්තාව අනුව මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ ලෝක බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිය විසින් යැයි ද, ලෝක උරුමයක් වන වනාන්තරයක් විනාශ කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කරන්නේ කෙසේ ද යන්න ලෝක බැංකුවෙන් විමසා සිටිය යුතු යැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ විමසා සිට ඇති බව වාර්තා කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකා යැයි පවසමින් කිලෝමීටර් දෙකක් දුර පාරක් ඉදිකර ඇතැයි ද අති සංවේදී පරිසර පද්ධතියක් මැදින් මෙම පාර ඉදිකර ඇත්තේ කිසිදු සංරක්ෂණ ක‍්‍රියාවලියක් ගැන නොසිතා ඩෝසර් පමණක් යොදාගෙන වන බවයි.
එසේම මෙම මාර්ග පද්ධතියෙන් සිංහරාජයට වන හානිය පිළිබඳව, සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අදාළ සියලූ අංශ වෙත දන්වා යැවු බවත් රාහුල හිමියෝ පවසා සිටි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
එසේම අදාළ ව්‍යපෘතිය 2011 වසරේ සිට 2030 වසර දක්වා වූ ජාතික භෞතික සැලැස්ම අනුව සිංහරාජය දෙකඩ කරමින් ඉදිවන මාර්ගයක් බව තම සංවිධානය 2013 දී පෙන්වා දුන් බව ද උන්වන්සේ පවසා ඇත.
කෙසේ වෙතත් ඒ වන විට මෙම මාර්ගය නිසා සිංහරාජ ලෝක උරුමයට දැඩි හානි පැමිණෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් 2013 වසරේ නොවැම්බර් මස දී යුනෙස්කෝ කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එවක රජයට සිදුකළ බලපෑම නිසා ලංකාගම සිංහරාජ මාර්ගය ඉදිකිරීම වසර කිහිපයක් අත් හිටුවනු ලැබ තිබී ඇති අතර පසුව යහපාලන රජය සමයේ නැවතත් එම කටයුතු ආරම්භ වී තිබිණ. 2013 වසරේ එම ව්‍යාපෘතිය නවතා දමන විට මාර්ගයේ ඉදිකර ඇත්තේ කිලෝ මීටර් 2ක පමණ ප්‍රමාණයක් පමණක් බව ද පරිසරවේදීන් පෙන්වා දෙයි.
එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ යළිත් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ඒ බව නිරීක්ෂණය වීමෙන් පසු මේ සම්බන්ධයෙන් එම කාලය තුළ යළිත් මාධ්‍ය අවධානය යොමු කෙරුණා.
ඒ අනුව 2019 ජනවාරි මස 08 දින යළිත් මාධ්‍ය හමුවක් පවත්වා එම විනාශය පිළිබඳ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් යළිත් අනාවරණයක් සිදුකර ඇති අතර 2020 අගෝස්තු මාසයේ දී එම මාර්ගයේ ඉදි කිරීම් පිළිබඳ යළිත් කතිකාවක් ආරම්භ විය.
මේ සම්බන්ධයෙන් මෑතකදී නිවේදනයක් නිකුත් කළ පරිසර සංවිධානයක් වන ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානයේ පරිසරවේදීන් කණ්ඩායමක් නෙළුව සිට ලංකාගම දෙසට ගමන් කර එම ඉදිකිරීම් නිරීක්ෂණය කර ඇත. එහිදී අදාළ ඉදිකිරීම් පරිසර හිතකාමී නොවන තමන්ගේ නිරීක්ෂණය වූ බව ඔවුන් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබෙනවා.
එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ සිංහරාජ වනාන්තරය හා ප්‍රේරක කලාපය අතරින් අඩි 12ත් 20ත් අතර පළලකින් මෙම මාර්ගය ඉදිකෙරෙන බවයි.
මේ අතර මේ වන විටත් විශාල වශයෙන් සිදුවන දැව ජාවාරම්, ජාන මංකොල්ලය, වල්ලපට්ටා කැපීම, මැණික් පතල් හෑරීම, අනවසර වැලි ගොඩ දැමීම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් මෙහි සිදුවෙමින් පවතින බව පාරිසරික හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව එවන් ක්‍රියාවන් සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැළකුණ ද එසේ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව තිබියදිත් එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
පසුගිය 2018 වසරේ ජුලි 18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් ඇල්ලූ දැව තොගයක්ද කිසිදු පරීක්ෂණයකින් තොරව පොලිසිය විසින් නිදහස් කරන ලද බව පවසන එම මධ්‍යස්ථානය කියා සිටිනනේ එයට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී ඇති බවයි.
ඒ අනුව සිංහරාජ ලෝක උරුම අඩවිය තුළ මාර්ගයක් නීතිවිරෝධී ලෙස ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාරිසරික හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ල මගින් පාරිසරික හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්, යුනෙස්කෝවෙන් ඉල්ලා සිංහරාජ වනාන්තරයේ නීතිවිරෝධී මාර්ග ඉදිකිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස හා ශ්‍රී ලංකාවේ වනාන්තර භූමිය ආරක්ෂා කිරීමට උපකාර කරන ලෙසයි.
එහෙත් අදාළ මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් වන සියලු චෝදනා නව රජයට පමණක් එල්ල කිරීමට ඇතැම් මාධ්‍ය සහ දේශපාලන පක්ෂ කටයුතු කරන බව ද නිරීක්ෂණය වේ.
කෙසේ වෙතත් ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය මැදින් ඉදිවන මාර්ගය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතුව පවතින අතර ඉන් සිදුවිය හැකි පරිසර හානි පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.
එය ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රමුඛ වගකීමක් වන්නේ පරිසරය ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ පොරොන්දුවක් වූ බැවිනි. එසේම ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධන බලකායේ අවධානය ද මේ සඳහා ඉක්මණින් යොමු විය යුතු අතර පරිසර සංවිධාන නගන චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවිය යුතුය.
– සත්‍යජිත් කරුණාරත්න








