දේශපාලන

20 වන සංශෝධනයට සියල්ල සූදානම්, වෙනස්වන්නේ මොනවාද?

(RIVIRA.LK, 2020 අගෝස්තු 18 පස්වරු 02.47ට)

යහපාලන රජය ඔවුන්ගේ පළමු ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනය එම ආණ්ඩුවේ පළමු මාස 6 තුළ ම සම්මත කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ පාර්ශවයන් අතරම මතභේදයන් හට ගත්තේ ය.

19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එයට එරෙහි වූයේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් වන අතර ඒ වත්මන් රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රියාර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර පමණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වරක් චෝදනා කර සිටියේ එම රටට සාපයක් බවයි. එසේම රට නැවත ගොඩ ගැනීමට නම් පළමුවෙන්ම 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බව ඔහු සඳහන් කළා.

එසේම 19 ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කළ ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ද වරෙක කියා තිබුණේ මුල් සංශෝධනයේ සැර බාල කර සම්මත කිරීම හේතුවෙන් මහත් විනාශයක් සිදුව ඇති බවයි. එබැවින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විරසැකයක් ඇති වූ විටෙක එම තත්වය තවත් අයහපත් අතට හැරෙන බව ඔහු සඳහන් කළා.

එසේම ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම තුළ 2018 වසරේ ඔක්තෝබර් 26 දින සිදුවූ අගමැති මාරුවත් සමග රට තුළ දැවැන්ත ව්‍යවස්ථා අර්බුධයක් ද හට ගත් අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයටද ප්‍රබල මරු පහරක් එල්ල විය.

එසේම ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සමග රට තුළ තවත් දැවැන්ත අර්බුධ නිර්මාණය වූ අතර කොමිෂන් සභාවලට පත් වූ ඇතැම් සාමාජිකයින් යම් යම් දේශපාලන පක්ෂ සමග ඇති වෛරයන් සංසිදුවා ගැනීමට කටයුතු කරනු ලබන බවට ද චෝදනා එල්ල විය.

එසේම පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් පත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ව්‍යවස්ථාදායක සභාවට පැවරීම හේතුවෙන් අදටත් රට තුළ ස්ථිර පොලිස්පතිවරයෙකු නැත.

මෙම සියලු කරුණු හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවයි. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද ගෙන ඒමට අවශ්‍ය බැවින් වෙනත් බලවේගවල සහය නොගෙන එය සිදු කිරීම සඳහා ජනවරමක් ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබා දෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ අතර ඔවුන්ට එම ජනවරම සම්පූර්ණයෙන්ම හිමි විය.

ඒ අනුව අධිකරණ ඇමතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් ලෙස 20 වැනි සංශෝධනය ගෙන ඒමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමත් ඇතුළත් කර තිබෙන අතර එම වගකීම ජනාධිපති නීතිඥ මොහමඩ් උවයිස් මොහොමඩ් අලි සබ්රි වෙත පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

පළමු කැබිනට් රැස්වීමටම සංකල්ප පත්‍රිකාව ගේනවා – අධිකරන ඇමති

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වූ ව්‍යාකූලතා ඉවත් කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන සංකල්ප පත්‍රිකාවක් පළමු කැබිනට් මණ්ඩල රැස්වීමටම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි කියා සිටියේ ය.

එහිදී එම කටයුත්ත නව රජයේ ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස සළකා කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමාට උපදෙස් දුන් බව ද අලි සබ්රි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය

එහෙත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් ලෙස සිදු කර ඇති සීමා කිරීම එලෙසම පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් තමන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි. එසේම දෙවරකට වඩා මැතිවරණයට ඉදිරිපත් වීමට පනවා ඇති බාධාව ද ඉවත් නොකරන ලෙස අගමැතිවරයා උපදෙස් ලබාදුන් බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ස්වාධීන කොමිෂන් සභාවලට 20 වන සංශෝධනයෙන් හානියක් නොවන බවක් තමන් ප්‍රකාශ නොකළ බව ද අධිකරණ ඇමතිවරයා පැවසීය.

එසේම අධිකරණ ඇමතිවරයා සඳහන් කළ විශේෂ කරුණක් වූයේ “සියලු ජන කොටස් ඇතුළත් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක්” හඳුන්වා දීමට තම රජය කටයුතු කරනු ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් දීර්ග පැහැදිලි කිරීමක් සිදු නොකෙරුණි.

කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කෙරෙන කරුණු සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මෙතෙක් නිශ්චිත අනාවරණයක් සිදුකර නොමැති වීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අහිතකර කොටස් ඉවත් කෙරෙන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංකල්ප පත්‍රිකාව පළමු කැබිනට් හමුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමග එම සංශෝධනය කෙටුම්පත් කර අවසන් කරන බවයි. ඉන්පසු අවසන් කෙටුම්පත ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභාගත කරන බව ඔහු සඳහන් කළා. ඒ අනුව සැප්තැම්බර් මස තුන්වැනි සතිය හා හතරවන සතිය වන විට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකි වනු ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ මතය

මේ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පසුගිය දිනෙක මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. ස්වාධීන කොමිෂන් සභාවල පවතින දුර්වලතාවයන් සලකා බැලීමෙන් අනතුරුව ඒවා පිළිබඳ ගත ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් නව ව්‍යවස්ථා කෙටුම්පතට අන්තර්ගත කෙරෙනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගගේ මතය

අතීත වැරදි නිවැරදි කරන ජනතා අපේක්ෂා ඉටු කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි. එසේම වර්තමානයේ පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ගැටඵ රැසක් පැන නැගි ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටින්නේ ජනාධිපතිවරණයේදි හා මහ මැතිවරණයේදී ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදී ඇති නිසා නව ව්‍යවස්ථාවක් සකස් කිරිමට ජනතා කැමැත්ත ලැබී ඇති බවයි.

20 වැනි සංශෝධනයෙන් ඉදිරිපත් කෙරෙන වෙනස්කම් මොනවාද?

මේ සම්බන්ධයෙන් “රිවිර.lk” සොයා බැලීමක් සිදුකළා. එහිදී රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා වාර්තා වූයේ ස්වාධීන කොමිෂන් සභාවලට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතල පූර්ණ වෙනසකට ලක් කිරීමකට රජයේ අවධානය යොමුව ඇති බවයි. එහෙත් එමගින් ඒවාට ඇති බලතල අඩු කිරීමකට වඩා කොමිෂන් සභාවලට ඇති බලතල විධිමත් හා ප්‍රායෝගික තත්වයකට පත් කිරීම අපේක්ෂාව වී ඇති බව වාර්තා වේ.

එසේම නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු රජයේ උසස් නිලතලවලට සුදුස්සන් පත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ පූර්ණ බලය 19 වැනි සංශෝධනය හරහා ඉවත් කර ව්‍යවස්ථාදායක සභාව වෙත ලබා දී ඇති අතර 20 වැනි සංශෝධනය මගින් එම තත්වය වෙනස් කොට එම තනතුරුවලට පත් කිරීමේ දී ජනාධිපතිවරයා වෙත වැඩි බලතල ලැබෙන ආකාරයෙන් සකස් කිරීමට ද යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ දී ඊට පත්වන පුද්ගලයින් රටට හිතකර ආකාරයෙන් කටයුතු කිරීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද නියමිත බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන අතර එම සාමාජිකයින් තෝරා ගැනීමේ දී ජනාධිපතිවරයා වෙත වැඩි වගකීමක් පැවරිය යුතු බව රජයේ මතය වී ඇති ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මුළු රටේම ජනතාවගේ ඍජු ඡන්දයෙන් තේරී පත්වන පුද්ගලයෙකු වන හෙයින් එම ජනවරම නොසළකා කටයුතු කරන තත්වයක් වර්තමානයේ ඇති වී තිබෙන බව දේශපාලන විශ්ලේෂකයින් රජයට පෙන්වා දී ඇති අතර එම තත්වයට ද පිළියම් ලැබෙනු ඇති බව ඔවුන් අපේක්ෂා කරයි.

එසේම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය රටට අහිතකර නොවන ආකාරයෙන් ව්‍යුහයකට පරිවර්ථනය කළ යුතු බවට ද යෝජනා ලැබී ඇති අතර ජාත්‍යන්තර සංවිධානවල අරමුණු ඒ හරහා ඉටු කර ගැනීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන බලවේග ඉල්ලීමක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු වීමට නියමිත බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට ඇති බලතල ඉවත් කිරීමක් සිදු නොකෙරන අතර ඒවායේ ඝන පූර්ණය සහ ව්‍යුහය අවශ්‍ය පරිදි වෙනස්කම්වලට ලක් කිරීමට නියමිත බව ද රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම ජනාධිපතිවරයාට අමාත්‍යධූර දැරීමට නොහැකිවන ලෙස පනවා ඇති සීමා ඉවත් කර සුදුසු අමාත්‍යධූර කිහිපයක් දැරීමට අයිතිය ලබා දීමටත්, ආරක්ෂක අමාත්‍යධූරය ජනාධිපතිවරයා විසින්ම දැරිය යුතු බවටත් වන වගන්තියක් එක් කිරීමටත් නියමිත බව ද රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විපක්ෂයේ මතය

විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු ධූරයක් දැරීමට ඇති බාධාව ඉවත් කිරීම බවයි.

අද දෙරණ නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මෙසේ කියා සිටියා.

“20 වෙනි සංශෝධනය කරන්න යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තනතුරක් නිර්මාණය කරන්න සහ බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවට එන්න. රටේ ජනතාවට හිතකර, රටට හිතකර සංශෝධනය ගෙන එනවානම් අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ජනතාවට අහිතකර යෝජනා එනවානම් අපි ඒකට විරුද්ධ වෙනවා”

නියෝජ්‍ය අගමැතිධූරයක් ඇති කරයි ද?

මෙහිදී විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනය මගින් නියෝජ්‍ය අගමැතිධූරයක් ඇති කර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කිරීමට සූදානමක් ඇති බවටයි. එහෙත් එම කරුණු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ එවැනි තනතුරු බිහි කිරීමේ අරමුණක් තම රජයට නොමැති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top