දේශීය පුවත්

අරක්කු කාල සහ තනි දුම්වැටිය තහනම් කිරීමට සූදානමක්, බුලත්විට සමග දුම්කොළ විකිණීමත් තහනම්

(RIVIRA.LK, 2020 අගෝස්තු 19 පස්වරු 01.03ට)

2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ගෙන එන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පවසයි.

මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු මේ බව සදහන් කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ, නව කැබිනට් මණ්ඩලයේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ආශිර්වාදයෙන් 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට සිදුකළ යුතුව ඇති සංශෝධන කඩිනමින් ගෙන එන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ පවසයි.

ඒ සම්බන්ධයෙන් එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ.

මේ යටතේ ඉදිරි කාලය තුල මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නෛතික රාමුව බලගැන්වීමත්, පාර්ලිමේන්තුව තුළින් ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිපාදන සැකසීමත් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරේ. මෙතෙක් කෙතරම් සාධනීය මැදිහත්වීම් සිදුකළ ද දුම්කොළ කර්මාන්තයේ සහ මධ්‍යසාර කර්මාන්තයේ ලාභය කිසි ලෙසකින් හෝ අඩුවී නොමැති බැවින් ඉදිරියේදී වඩාත් දැනෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.

2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතට ගෙන එන සංශෝධන යටතේ පනතේ බලයලත් නිලධාරීන් අලුතින් නම් කිරීමට බලාපොරොත්තු වෙයි. මේ යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ රේගු නිලධාරීන්ටද බලය ලබා දීමට යෝජිතයි.

“සියලුම පොදු ස්ථානවල දුම්බීම තහනම්”

දුම්බීමට තහනම් ප්‍රදේශ යටතට මේ දක්වා සලකා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන වේ. මේ වගන්තිය යටතේ බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන බව පෙනී ගොස් ඇත. ඉදිරියේදී මෙම වගන්තිය සියලුම පොදු ස්ථාන ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම වචනය වෙනස් කර ගැනීම පිණිස වසර ගණනාවක් තිස්සේ තම අධිකාරිය අනවරත අරගලයක යෙදී සිටින බවද සභාපතිවරයා අනාවරණය කළේ ය.

“බුලත්විට සමග දුම්කොළ විකිණීම දැනටමත් නීතියෙන් තහනම්”

දුම් රහිත දුම්කොළ හා ඒවා අඩංගු නිෂ්පාදන ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීම පනත යටතේ දැනටමත් සපුරා තහනම් වෙයි. මේ තත්වය යටතේ දුම්කොල සහිත බුලත්විට අලෙවි කිරීම සපුරා තහනම් නමුත් එම නීතිය හරිහැටි ක්‍රියාත්මක වන බවක් තමාට නිරීක්ෂණය නොවන බව පවසන ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ ඉදිරියේදී මේ නීති ප්‍රකාරව කටයුතු කිරීමට වැඩි උනන්දුවකින් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අනාවරණ කළේ ය.

“කාලේ බෝතලේත් විකිණීම නතර කිරීමට පියවර”

මද්‍යසාර අලෙවිකිරීමේදී “කාලේ බෝතල්” විකිණීම නතර කිරීමට නව නීති ගෙන ඒමේ අවශ්‍යතාව මේ වන විට කැපී පෙනේ. අලෙවිය සීග්‍ර වීම නිසා ඇතිවන හානිය වලක්වාලීම මෙන්ම ඉවතලන බෝතල් නිසා සිදුවන පරිසර හානිය වලක්වා ගැනීමත් වෙනුවෙන් එය තහනම් කිරීමේ කැපී පෙනීම අවශ්‍යතාවක් පවතී.

සිගරට් හා මධ්‍යසාර නිෂ්පාදන මත පනවා තිබෙන රජයේ බදු කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. බදු මගින් ලබාගන්නා මුදල මෙන් අති විශාල ප්‍රමාණයක මුදලක්, සිගරට් හා අරක්කු ඇතුළු මධ්‍යසාර භාවිතා කරන ජනතාව නිසා ඇතිවන හානි අවම කිරීමට සහ ප්‍රතිකාර වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇති බවද දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ පෙන්වාදෙයි.

“තනි සිගරට්ටුව විකිණීම නතර කිරීමටත් පියවර”

තනි සිගරට්ටුව අලෙවි කිරීම වලක්වාලීමට නීති සකස් කිරීම සදහා අවශ්‍ය යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට 2019 වසරේදී දෙවරක්ම ඉදිරිපත් කරන ලද නමුත් එය ඉදිරියට ගෙනයාමට නොහැකි විය. නව කැබිනට් මණ්ඩලයට මේ වසරේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිසා ඇතිවන හානිය අවම කිරීමට නව ජවයකින් කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටින බව ද ආචාර්ය සමාධි රාජපක්ෂ අවධාරණය කළේ ය.

Rivira FB Group Rivira Youtube
To Top