කොවිඩ්-19

සියයට 95ක් සුවය ලබයි, කන්දකාඩු පොකුරත් නිවෙන ලකුණු

(RIVIRA.LK, 2020 අගෝස්තු 19 පස්වරු 05.51ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 19 බදාදා පස්වරු 05.00 වන විට 2,902ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,760කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 131ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 62ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 95.10%ක් ලෙසත් මරණ අනුපාතය 0.28%ක් ලෙසත් වාර්තා වේ.

ඒ අනුව බහුතර මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාකලාපය හේතුවෙන් සහ අදාළ අංශවල නිවැරදි ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වෛරසයෙන් තොර කලාපයක් බවට වන නිල නිවේදනය ළඟදීම නිකුත් කළ හැකි වනු ඇති බවට සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කර සිටිනවා. එහෙත් එම තත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා මහජන සහය අත්‍යවශ්‍ය බව ද ඔවුන් පෙන්වා දෙනවා.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 05 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 01
  • වැලිකන්ද මූලික රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 02

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,902 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 34
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 975
  • කන්දකාඩු කොරෝනා පොකුර – 630
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

දින කිහිපයක සිට කන්දකාඩු කොරෝනා පොකුර ආශ්‍රිතව ද නව ආසාදිතයින් වාර්තා නොවන අතර ඉතා ඉක්මණින් කන්දකාඩු කොරෝනා පොකුර ද අක්‍රීය වනු ඇති බව සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරනවා. ඒ අනුව එම පොකුර අවසන් වීමෙන් පසු රට තුළ නිල වශයෙන් කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු කළ හැකි වේ. එසේ වුවත් එය නිශ්චිතවම තහවුරු කර ගැනීමට අවසන් ආසාදිතයා හමු වී සති 3ක පමණ කාලයක් ගත වන තුරු නව ආසාදිතයෙකු වාර්තා නොවී තිබිය යුතුයි.

එසේම විදේශයන්ගේ සිට පැමිණෙන ආසාදිතයින් තවදුරටත් වාර්තා වන අතර මේ වන විට වැඩිම පිරිසක් වාර්තා වන්නේ ද විදේශයන්ගේ සිට පැමිණෙන අය අතුරිනි. සමස්ත ආසාදිතයින් අතුරින් 1,009 දෙනෙකුම විදේශන් හී දී ආසාදිත වී මෙරටට පැමිණි අයයි.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් සංඛ්‍යාව 04 දක්වා අඩු වී ඇති අතර දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 131 අතුරින්,

  1. IDH රෝහල – 19
  2. වැලිකන්ද මූලික රෝහල – 81
  3. ඉරණවිල මූලික රෝහල – 13
  4. මිනුවන්ගොඩ මූලික රෝහල – 18ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 195,025ක් වන අතර අගෝස්තු 18 දින පරීක්ෂණ 3,518ක් සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එය මෙතෙක් කාලය තුළ දිනක දී සිදු කළ වැඩිම පරීක්ෂණ ප්‍රමාණය යි.

Rivira FB Group Rivira Youtube
To Top