දේශපාලන

20 වැනි සංශෝධනය කෙටුම්පත් කරන්න සබ්රිට බලය දෙයි, නව ව්‍යවස්ථාව සම්පාදනයට කැබිනට් අනුකමිටුවක්

(RIVIRA.LK, 2020 අගෝස්තු 19 පස්වරු 10.07ට)

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අහිතකර කොටස් අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට අගෝස්තු 19 දින රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

නව ආණ්ඩුවේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව ඊට අදාළව අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර සංශෝධනය කෙටුම්පත් කොට කැබිනට් මණ්ඩලය සඳහා ඉදිරිපත් කිරීමට ඇමතිවරයාට බලය පැවරීමටත්, 20 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා අවශ්‍ය සාමාජිකයින් කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ කිරීමටත් අමාත්‍යවරයාට අනුමැතිය ලබා දී තිබෙනවා.

එසේම රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය, නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස්, අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි, කම්කරු අමාත්‍ය, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් කර කැබිනට් අනු කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top