(RIVIRA.LK, 2020 අගෝස්තු 21 පස්වරු 06.16ට)
හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිශ්චයකාරවරයෙකු වන උතුරු පළාතේ හිටපු මහ ඇමති, තමිල් මක්කල් තේෂීය කුට්ටනී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේස්වරන් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි කළ හැකි මතයක් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නනායකාර චෝදනා කළේය.
අගෝස්තු 20 මංගල සැසියේ දී කථානායකවරයාට සුබ පතමින් සී.වී. විග්නේස්වරන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අගෝස්තු 21 දින පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඇතුළු වන විට ප්‍රතිඥාවක් ද ලබා දී ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ එලෙස ප්‍රතිඥා දී තිබියදීත් විග්නේස්වරන් විසින් රට බෙදීමට අනුබල දෙන අදහස් ඇතුළත් ප්‍රකාශයක් කළ බවයි. එබැවින් එම ප්‍රකාශ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා යෝජනා කළා.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සොයා බලන බවයි.
විග්නේස්වරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තේරී පත් වීමෙන් කථානායකවරයාට සුබපැතීමට ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනයට ගත් සී. වී. විග්නේශ්වරන් දෙමළ බසින් සිය කතාව ආරම්භ කර ඉංග්‍රීසි භාෂාවෙන් කතාව කරගෙන ගියේ ය.
එහිදී ඔහු පැවසුවේ තමන් කථානායකවරයාට සුබපැතීම ආරම්භ කළේ ලොව පැරණිම භාෂාව හා අදටත් සජීවී ලෙස පවතින මෙන්ම මෙරට නිජබිම කරගත් පළමු ස්වදේශික ජනතාවගේ භාෂාවෙන් වන බවයි.
එසේම සිංහල බෞද්ධ හෙජමොනික බලපෑමක් ගැන සඳහන් කළ විග්නේස්වරන් පැවසුවේ ජාත්‍යන්තර ප්‍රඥප්තිවල ද සඳහන් පරිදි ස්වයං නිර්ණ අයිතිය සඳහා දෙමළ ජනතාවට ඇති අයිතිවාසිකම් පිළිගන්නා ලෙසයි.
ඒ අනුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන ජනතාවට ස්වයං නිර්ණය සඳහා අයිතියක් ඇති බව ඔහු සිය කතාවෙන් කියා සිටියේය.
1977 ඇති වූ එක්සත් ජාතික පක්ෂ රජයට හිමිවූ අතිවිශාල ඡන්ද ප්‍රමාණය හා අද වන විට එක් මන්ත්‍රී ආසනයකට පත් වී තිබීම සභාවේ අවධානයට ලක් කරමින් ඔහු කියා සිටියේ සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති බවයි.
ඒ අනුව “කළ කළ දේ පළ පළ වේ” යන්න මතක ලබා ගත යුුතු බව ද සිංහල පාඨය ද සහිතව කියා සිටියේ ය.
එහෙත් එම ප්‍රකාශයට අගෝස්තු 20 දින පාර්ලිමේන්තුව ඇමතූ කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල නොවූ අතර එම කතාව බොහෝ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කිරීමෙන් ද වැළකී සිටියේ ය.
එහෙත් නැවත අගෝස්තු 21 දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී මනූෂ නානායක්කාර එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමේ වැදගත්කම සභාවට පෙන්වා දුන්නේ ය.

