ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

එක රටක් – එක නීතියක් යනු කුමක් ද?

(RIVIRA.LK, 2020 අගෝස්තු 22 පස්වරු 04.03ට)

එක රටක, එක නීතියක් හෙවත් නෛතික සමරූපතාවක් තිබීම මෙයින් අදහස් කෙරේ. එනම් යම් නිශ්චිතදේශසීමාවක් සහිත, ස්ථිර ජනතාවක් සහ වෙනත් ස්වෛරීය රාජ්‍යයන් සමග සබඳතා පවත්වා ගත හැකි රජයක් සහිත භූමියක් තුළ ජීවත් වන සියලු ජනතාවට අදාළව ක්‍රියාත්මක විය යුත්තේ එකම නීති ක්‍රමයක් බවයි. එවිට නීතිය ඉතා පැහැදිළි හා උත්තරීතර ස්වභාවයකින් පවතින අතර විශේෂයෙන් පවත්නා පොදු නීතියට ව්‍යතිරේඛී අවස්ථා නොපැවතීම හඳුනාගත හැකියි.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය හඳුනාගනිමු!

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නීතිය පද්ධතිය ස්ථාපිත වූයේ මෙරට ලන්දේසීන්ගේ පාලනයට නතුව තිබූ සමයේ දී ය. ලන්දේසීන් විසින් මෙරටට හඳුන්වා දුන් නීති පද්ධතිය “රෝම-ලන්දේසි නීතිය” යි. මේ වන විට ලංකාවේ ප්‍රධානතම නීති මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ ද රෝම ලන්දේසි නීතියයි. වර්තමාන ශ්‍රී ලංකාවේ පවුල් නීතිය, ඉඩම් නීතිය, දීලික්ත නීතිය (සිවිල් වැරදි සම්බන්ධ නීතිය) සහ ගිවිසුම් නීතියෙහි ඇතැම් අවස්ථා සඳහා බලපැවැත්වෙනුයේ රෝම ලන්දේසි නීතිය වේ.

පසුව 1796 වසරේ දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් වීමෙන් අනතුරුව රෝම ලන්දේසි නීතියට අමතරව ඉංග්‍රීසි ජාතිකයින්ගේ නීතිය වූ ඉංග්‍රීසි නීතියද මෙරටට හඳුන්වා දෙන ලදි. එහිදී ඔවුන් විසින් රට තුළ ස්ථාපිත කර තිබූ නීති පද්ධතිය පවත්වාගෙන යමින් වාණිජ හා පරිපාලන කටයුතු සඳහා තම පාලනය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි නීතිය ස්ථාපිත කිරීමට පියවරගෙන ඇත.

ලෝකය තුළ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස ද පිළිගැනීමට ලක්ව ඇත. එහෙත් ඇතැම් පිරිස් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ බහු-වාර්ගික, බහු-ආගමික රටක් ලෙසයි.

එහිදී, වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන්කළ හඳුනාගත හැකියි.

  • අපරාධ නීතිය
  • සිවිල් නීතිය

මෙහිදී අපරාධ නීතිය රටේ සියලු දෙනාට සමානව අදාළ වන බව ඇතැමුන් පවසයි. නමුත් සත්‍ය වශයෙන්ම එසේ වී ඇත්දැයි මෙම ලිපිය කියැවීමේ දී ඔබට තේරුම් ගත හැකියි.

සිවිල් නීතිය යටතේ විවාහය, දේපළ බෙදීයාම ඇතුලු කරුණු සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියට අමතරව උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලමේ නීතිය යන පෞද්ගලික අදාළ වේ. ඒ හේතුවෙන් ඇතැමුන් පවසන්නේ පෞද්ගලික නීති ක්‍රම අදාළ වන්නේ එවැනි කරුණුවලට අදාළව පමණක් බවයි. එමගින් වෙනත් පුද්ගලයින්ට ඉන් බාධාවක් ඇති නොවනු ඇති බව එම මතය දරන්නන්ගේ අදහසයි.

මෙහිදී ඒ ඒ නීති යටතේ විවාහ සම්බන්ධයෙන් අදාළ වන කරුණු සළකා බැලීම වැදගත් වේ.

සාමාන්‍ය නීතිය යටතේ විවාහය

මෙරට සාමාන්‍ය නීතිය යටතේ විවාහය සඳහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි. මෙය අවස්ථා ගණනාවක දී සංශෝධනය වී ඇති අතර එම නීතිය යටතේ විවාහයක් සිදු කිරීමට පහත අවශ්‍යතාවයන් හා සීමාවන් පවතී.

සාමාන්‍ය නීතිය යටතේ විවාහ විය හැක්කේ කාට ද?

  • පහතරට සිංහලයන්ට
  • ස්ව කැමැත්ත මත උඩරැටියන්ට
  • තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
  • ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට

ඒ අනුව පහත රට සිංහලයින් සහ ද්‍රවිඩයින් සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ විය යුතුයි. එහිදී ඔවුන්ට ඉහත සඳහන් ආඥා පනතේ ප්‍රතිපාදනයන් අදාළ වේ.

සාමාන්‍ය නීතිය යටතේ විවාහය වලංගු වීමට නම්,

  • අවම වයස් සීමාව දෙපාර්ශවය සඳහා ම වයස අවුරුදු 18ක් විය යුතුය.
  • විවාහයේ පාර්ශවකරුවන් අතර තහනම් ඥාති සබඳතා නොපැවතිය යුතුය.
  • විවාහයේ පාර්ශවකරුවන්ට වලංගු පෙර විවාහයක් නොපැවතිය යුතුය.

උඩරට නීතිය යටතේ විවාහය

උඩරට නීතිය, සිංහල නීතිය ලෙස ද සැළ කේ. ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කිරීමෙන් පසු උඩරට නීතිය පුද්ගලික නීතියක් ලෙස සීමා කිරීමට කටයුතු කර ඇති අතර උඩරට නීතිය බරපතල ලෙස විකෘති කිරීමකට හෙවත් ඔවුන්ට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට කටයුතු කර ඇත. එතෙක් අලිඛිතව පැවති උඩරට නීතිය ඉංග්‍රීසීන් විසින් 1852 දී ලිඛිත නීතියක් බවට පත් කර ඇති අතර මේ වන විට උඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟිනි.

උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ කාට ද?

උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.

උඩරට නීතිය යටතේ විවාහය වලංගු වීමට නම්,

  • අවම වයස් සීමාව දෙපාර්ශවය සඳහා ම වයස අවුරුදු 18ක් විය යුතුය.
  • විවාහයේ පාර්ශවකරුවන් අතර තහනම් ඥාති සබඳතා නොපැවතිය යුතුය.
  • විවාහයේ පාර්ශවකරුවන්ට වලංගු පෙර විවාහයක් නොපැවතිය යුතුය.

මුස්ලිම් නීතිය යට‍තේ විවාහය

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ.

මුස්ලිම් නීතිය යටතේ විවාහ විය හැක්කේ කාට ද?

මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.

මුස්ලිම් නීතිය යට‍තේ විවාහය වලංගු වීමට නම්,

  • අවම වයස් සීමාවක් නොමැති අතර කාතිවරයාගේ අවසරය මත අවුරුදු 12ට අඩු දැරියන් පවා විවාහ කර ගත හැක.
  • විවාහයේ පාර්ශවකරුවන් අතර තහනම් ඥාති සබඳතා නොපැවතිය යුතුය.
  • බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙයි. එබැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ
  • සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකි බව දක්වා ඇත.

පෞද්ගලික නීතිය, සිවිල් නීතියට පමණක් අදාළ නොවී අපරාධ නීතියට ද අදාළ වන අයුරු

සිවිල් කටයුතුවලදී පමණක් අදාළ වන බව ඇතැමුන් පැවසුව ද අපරාධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලික නීති ක්‍රම කරන බලපෑම අතිශයින් බරපතල ස්වාභාවයක් ගන්නා අතර පුද්ගලයින් අතර වැඩි වරප්‍රසාද සහිත පුද්ගලයින් බිහි වීමක් ද සිදු වේ.

බහු විවාහය නම් අපරාධ වරද

බහු විවාහය, ශ්‍රී ලංකාවේ අපරාධ වරදකි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 362 (ආ) වගන්තිය ප්‍රකාරව ස්වාමීපුරුෂයා හෝ බිරිඳ ජීවත්ව සිටිය දී තවත් විවාහයක් සිදුකර ගැනීම වසර 7ක් දක්වා වූ දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමක් සහ දඩයකට යටත් වනු ලැබිය යුතු වරදක් වන්නේ ය.

එහෙත්, මුස්ලිම් පිරිමි පුද්ගලයෙකුට විවාහ කිහිපයක් සිදුකර ගැනීමට ඉඩ ලබා දීම තුළින් ශ්‍රී ලංකාවේ දක්වා ඇති එක් වරදකට එම පිරිමින්ට පමණක් මුක්තියක් හිමි වී තිබෙනවා. එමගින් ඔහු සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකුට වඩා අධි වරප්‍රසාදිත තත්වය සිටීම කැපී පෙනෙන තත්වයකි.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නම් අපරාධ වරද

මේ යටතේ වයස අවරුදු 16ට අඩු දැරියක් සමග ලිංගික සබඳතාවයක් පවත්වන පුද්ගලයෙකු අපරාධ වරදක් සිදුකරන අතර එහිදී අදාළ දැරියගේ කැමැත්ත යන සාධකය නොසළකා හැර වරද කර ඇත්නම් වරදකරු කරනු ලැබේ.

එසේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 (3) වගන්තිය ප්‍රකාරව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට වරදකරු වන අයෙකුට වසර 15කට නොඅඩු සහ වසර 20කට නොවැඩි කාලයක් දක්වා වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමෙන් දඬුවම් කළ යුතු බව දක්වා ඇත.

එහෙත් මුස්ලිම් පිරිමි පුද්ගලයෙකුට කාතිවරයාගේ කැමැත්ත මත වයස අවුරුදු 12ට අඩු දැරියක් වුවද විවාහ කර ගැනීමට අවසර ලබා දීම හරහා එම බරපතල අපරාධ වරදටද මුක්තියක් හෙවත් නිදහසක් ලැබී තිබෙනවා. එය ද කිසිඳු සමාජයකට අනුමත කළ නොහැකි බරපතල අපරාධයකි.

මෙම මූලික උදාහරණ දෙක තුළින් පැහැදිළි වන්නේ පෞද්ගලික නීති, ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ද අභිබවමින් ක්‍රියාකර ඇති ආකාරය යි.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් – එක නීතියක්” ස්ථාපිත කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

එක රටක් – එක නීතියක් යන සංකල්පය, නීතියේ ආධිපත්‍ය උපරිම මට්ටමෙන් ක්‍රියාකෙරෙන අවස්ථාවකි. එහිදී පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, කුලය හෝ වෙනත් කිසිඳු සාධකයක් මත නීතියේ වෙනස් වීමක් හෝ විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ හානියක් සිදු නොවීම තහවුරු කෙරෙන අතර නීතිය ඉදිරියේ සියලු දෙනා 100%ක්ම සමාන ලෙසින් සැළකෙනු ඇත.

ශ්‍රී ලංකාවට අදාළව සැළකීමේ දී මෙම සංකල්පය හරහා උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලමේ නීතිය අහෝසි කර දැමීම අපේක්ෂා කරන අතර ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව සැමටම සමාන නීතියක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.

එසේම එමගින් නීතිය අවභාවිතා කිරීමට ඇති අවස්ථාවන් මෙන්ම සුළු ජාතිකයින්ටත්, මහා ජාතිකයින්ටත් ලෙස වෙන වෙනම සැළකීමක් සිදු නොවන අතර එමගින් ජාතීන් අතර ඇති නොසන්සුන්තාවය ද සමනය වනු ඇත. එමගින් මෙරට ජීවත් වන සියලු ජනතාවට එකම ජනතාවක් ලෙස සළකනු ලබන අතර ජාතිය, ආගම හා කුලය මත විශේෂ වරප්‍රසාද හිමි නොවන හා විශේෂ හානියක් සිදුනොවන තත්වයක් ඇති වේ.

රටේ ඕනෑම ස්ථානයක ජීවත් වීමට ඇති අයිතිය තහවුරු වීම

එක රටක් – එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කළ හොත් මෙරට පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක පදිංචි වීමට ඇති අයිතිය ද එමගින් තහවුරු කෙරෙන අතර ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා යහපැවැත්ම තහවුරු වනු ඇත. දැනට ශ්‍රී ලංකාවේ පවතින තේසවලමේ නීතිය නිසා උතුරු නැගෙනහිර දෙපළාතේ ඉඩම් මිල දී ගැනීම හා ජීවත් වීමට බොහෝ බාධාවන් ඇති වී තිබෙනවා.

එක රටක් එක නීතියක් හරහා කියැවෙන්නේ මුස්ලිම් විරෝධයක් ද?

එක රටක් – එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම රටකට අත්කර ගත හැකි ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයයි. එහිදී එය ජාතිවාදී ලෙස හෝ වර්ගවාදී ලෙස හඳුනාගැනීම අතිශයින් වැරදි හා නොමග යවන සුළු තත්වයකි.

මේ යටතේ ඉවත් කිරීමට නියමිත නීති පද්ධතීන් අතර උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලමේ නීතිය යන පෞද්ගලික නීති ක්‍රම ත්‍රිත්වයම පවතී. එයින් මුස්ලිම් නීතිය ඉවත් කිරීම ප්‍රබලම ගැටළුවක් ලෙස යමෙක් හඳුනා ගන්නේ නම් එය ප්‍රජාන්තවාදී සංකල්පයන්ට විරුද්ධ තත්වයකි.

එහෙත් මෙම සංකල්පය සම්බන්ධයෙන් කතා කිරීමේ දී ඉන් වැඩි හානයක් මුස්ලිම් ජාතික පිරිමින්ට සිදුවන බව පෙනී යයි. ඔවුන්ට මුස්ලිම් වීම නිසා ලැබී ඇති අධික වරප්‍රසාද සම්භාරය “එක රටක් – එක නීතියක්” සංකල්පය හරහා අහෝසි වී යනු ඇත.

අධි වරප්‍රසාදිත මුස්ලිම් පිරිමියා අහෝසි වීම

“එක රටක් – එක නීතියක්” සංකල්පය මුස්ලිම් විරෝධයක් ලෙස හැඳින්වීමට උත්සාහ දරන්නේ මුස්ලිම් පිරිමින් සහ සුළු ජාතික අයිතිවාසිකම් පමණක් ඉහළින් තිබිය යුතු බවට සළකන ඇතැම් ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන් පමණි.

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්‍රසාධිත මුස්ලිම් පිරිමියා අහෝසි වී යන බව සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම මුස්ලිම් ජාතික කාන්තාවක් වන ශ්‍රීන් අබ්දුල් සරූර් කියා සිටී. ඇය එක රටක් එක නීතියක් සංකල්පය අනුමත නොකළ ද අධි වරප්‍රසාදිත මුස්ලිම් පිරිමින් සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් දැඩි වටිනාකමක් සහිත අදහස් වේ. ඇය පෙන්වා දෙන්නේ, මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබී ඇති බවයි. එහිදී දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය, විවාහ සතරක් කර ගැනීමේ අයිතිය වැනි අයීතින් හරහා අධි වරප්‍රසාද ලබන කණ්ඩායමක් බවට මුස්ලිම් පිරිමින් පත්ව ඇති බව ඇය පෙන්වා දෙයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා විවාහ හතරක් නොව කැමති ගණනක් විවාහ කරගත හැකි බවයි. එසේම සියලු තීන්දු තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම නීතිරීති සම්පාදනය ද භාරව සිටින්නේ මුස්ලිම් පිරිමින් පමණක් වීම මෙම තත්වය වඩාත් තීව්ර වීමට හේතු වී ඇති බව ඇය ලංකා පුවත්පත සමග කළ සාකච්ඡාවක දී පවසා ඇත. එසේම මෙම නීති වෙනස් කිරීමට අකමැත්තක් දක්වන්නේ මුස්ලිම් සමාජය නොවන බවත්, එසේ අකමැත්තක් දක්වන්නේ මුස්ලිම් පිරිමියා බවටත් ඇය චෝදනා කර සිටී.

එක රටක් – එක නීතියක් ගැන ඇති වැරදි අර්ථ කථන

“එක රටක් – එක නීතියක්” යන සංකල්පය මගින් කියැවෙන්නේ එක එක ජාතීන්ට, එක එක ආගමිකයින්ට, එක එක ප්‍රදේශවලට හා එක එක ජන කණ්ඩායම්වලට සුවිශේෂී වූ නීති ක්‍රම නොමැති, සියලුම දෙනාට සමාන වන එක නීති ක්‍රමයක් පමණක් පවතින ක්‍රමයකි.

එහෙත් ඇතැම් පිරිස් එහි අර්ථය විකෘති කරමින් “එක රටක් – එක නීතියක්” යන සංකල්පය අර්ථ දක්වන්නේ පවතින නීතිය එලෙසම පවත්වා ගෙන යමින් ඒ ඒ ජනතාවට අදාළ ඒ ඒ නීතින් වෙනත් බාහිර බලපෑම්වලට ලක් නොකර ක්‍රියාත්මක කිරීමක් ලෙසිනි. එනම් මුදල් බලය, දේශපාලන බලය හා මැර බලය වැනි වෙනත් සාධක මත නීතිය ක්‍රියාත්මක නොවීම නිවැරදි කරමින් ඒ ඒ ජනතාවට බලපාන ඒ ඒ නීතීන් නිවැරදිව ක්‍රියාත්මක කිරීම “එක රටක් – එක නීතියක්” යන්නෙන් අදහස් වන බවට විකෘති මතයක් සමාජ ගත කරමින් සිටී. එය සම්පූර්ණයෙන්ම වැරදි හා නොමග යවන සුළු අර්ථ දැක්වීමක් වන අතර සමාජයේ වැරදි මතයක් ඇති කිරීමේ අරමුණින් කියා සිටින අදහසකි.

– සත්‍යජිත් කරුණාරත්න

සටහන: මෙම කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා රිවිර.lk අවකාශය විවෘත කර ඇත. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් අප වෙත එවන්න. එසේම මේ සම්බන්ධයෙන් පිළිතුරක් හෝ තවත් කරුණු එක් කිරීමක් සිදු කිරීමට කැමති ඔබටත් ඒ සඳහා අවස්ථාව සළසා ඇත. එම පිළිතුරු තර්කානුකූලව සහ කිසිවෙකුට අපහාස නොවන අයුරින් විද්‍යාත්මකව ඉදිරිපත් කර ඇත්නම් එම ලිපි මෙම වෙබ් අඩවිය තුළ පළ කිරීමට අප සූදානම්

සියලු ලිපි sathyajith@rivira.lk වෙත යොමු කරන්න.

Rivira FB Group Rivira Youtube
To Top