,
News

පැය කිහිපයක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 09ක් මිය යයි, 10කට බරපතලයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 22 පස්වරු 05.55ට)

අගෝස්තු 22 දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් 09 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසනවා.

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අලුයම 05.00ට පමණ වැලි පිරවූ ටිපර් රථයක්, කුඩා මෝටර් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනාම මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසනවා. මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක සේවකයින් පස්දෙනෙකු අනතුරෙන් මියගොස් තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදු ව තිබෙනවා.

මේ අතර අහුන්ගල්ල ප්‍රදේශයේ දී සිය මිදුලේ නවතා තිබූ ලොරි රථයක් 15 හැවිරිදි දරුවෙකු විසින් පණ ගැන්වීමෙන් 12 හැවිරිදි ඥාති දරුවෙකු එම ලොරියට යට වී මියගොස් තිබෙනවා. ලොරි රථයට යටවී බරපතල ලෙස තුවාල ලබා ඇති 12 හැවිරිදි දරුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ 03ක් රෝහල්ගත කර තිබෙනවා. රාවණාඇල්ල 24 කණුව අසලදී සිදු වී ඇති එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙක් බව පොලීසිය පවසනවා.

තඹුත්තේගම, තලාව ප්‍රදේශයේ දී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් එම කැබ් රථයේ රියදුරු ඇතුව 07 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. පයින්ඩිකුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ගමන්ගත් මගි දුම්රියේ අදාළ කැබ් රථය ගැටී ඇති අතර තුවාල ලැබූවන් අතර එකම පවුලේ පියා, මව සහ දියණිය ඇතුව පිරිසක් සිටින බව තඹුත්තේගම පොලිසිය පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා නොතිබූ බවත්, මුරකරු ද එම ස්ථානයේ නොසිටි බවත් ප්‍රදේශවාසීන් පවසනවා. කෙසේ වෙතත් රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව පවසන පොලිසිය කැබ් රථයේ රියදුරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගය ගන්නා බව ද පවසනවා.

Rivira Ads
To Top