දේශපාලන

දෙමළ දේශය පිළිගත යුතු බව පොන්නම්බලම් පාර්ලිමේන්තුවට කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 22 පස්වරු 11.22ට)

09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ සී.වී. විග්නේස්වරන් පාර්ලිමේන්තුව අමතා සිදුකළ පළමු කතාවෙන්ම ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ ගණනාවක් ඇතුළත් කතාවක් සිදුකළ අතර ඊට සමාජයෙන් දැඩි විරෝධයක් ද එල්ල විය.

මේ අතර අහිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද, පාර්ලිමේන්තුව අමතා කළ පළමු කතාවේ දී කියා ඇත්තේ දෙමළ දේශය (Nation) පිළිගත යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අතරතුර අදහස් දක්වමින් පොන්නම්බලම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා ඇත්තේ අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරු හා නැගෙනහිර දෙමළ ජනයා ලබා දුන් ජනවරම ලබාදුන්නේ දෙමළ අයිතිවාසිකම් පිළිගැනීම සඳහා බවයි.

“දෙමළ අයිතිවාසිකම් යනු අපගේ අනන්‍යතාවය පිළිගත යුතු බවයි. මේ රටේ දේශයන් දෙකක් පවතී” යැයි ද ඔහු සඳහන් කර ඇත.

දෙමළ ජනයාට සමාන අයිතිවාසිකම් හා සමාන තත්ත්වයක් තිබිය යුතු බවත්, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ස්වයං නිර්ණ අයිතිය තහවුරු කළ යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

“මෙය උතුරු හා නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵලයෙන් ඒකමතිකව ප්‍රකාශ විය,” ඔහු පැවසීය. එසේම දෙමළ ජනයා ලබා දී ඇති ජනවරම උල්ලංඝනය කළ නොහැකි බව ද පොන්නම්බලම් පවසා ඇත.

තව දුරටත් ඔහු සඳහන් කර ඇත්තේ යුද්ධය පැවති සමයේ සිදු වූ බව කියන අපරාධ සම්බන්ධයෙන් වගවීමක් බලාපොරොත්තු වන බවයි.

ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය පිටුපස සැඟවී සිට වගවීම සහතික කිරීමෙන් වැළකී සිටීමට කිසිදු රටකට නොහැකි බව පොන්නම්බලම් එහිදී කියා තිබෙනවා.

ටෙලෝ වෙබ් අඩවියේ වාර්තාව ඇසුරිනි.

විග්නේස්වරන්ලා පළමුව දිවුරුම් දී ඇත්තේ වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී – සරත් වීරසේකර

විග්නේස්වරන්ගේ බෙදුම්වාදී ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Rivira FB Group Rivira Youtube
To Top