,
News

“නිවැරදි තීරණ ගන්න, මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා” – ජනපති රාජ්‍ය ලේකම්වරුන්ට කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 26 පස්වරු 09.02ට)

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ අගෝස්තු 26 දින රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත් වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ඔවුන් සමග පැවති රැස්වීමේ දී යි.

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ ද සඳහන් කළා.

“පස් වසරක සැලැස්මක් සෑදීම ලේකම්වරුන්ගේ වගකීමක්. ඉලක්ක ළඟා කරගැනීම අපේ අරමුණයි.. අපි රාජ්‍ය අමාත්‍යාංශ හැදුවේ වෙනත් විදිහකට. වැඩ කරන්න පුළුවන් විදිහට හැදුවා. පානීය ජලය, අලි මිනිස් ගැටුම රටේ ලොකු ප්‍රශ්නයක්. අපි මේක විසඳන්න ඕනේ. අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් හොයන්න ඕනේ.. ආර්ථිකය මෙහෙයවීමට ලොකු අවධානයක් යොමු කළා. කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යංශවල පහළටම ගිහින් අපි රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කරලා තියෙනවා. වැව් ප්‍රතිසංස්කරණයටත් රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කළා. වෙනම ආයතන, ප්‍රතිපාදන ඍජුව වෙන් කළා..”

“මිනිස්සුන්ට දේශපාලනඥයෝ ගැන විශ්වාසයක් නැහැ. රාජ්‍ය සේවය ගැනත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. රටක් දුවන්න තියෙන්නේ මේ දෙකෙන්.මැතිවරණ ප්‍රතිඵලයෙන් කියන්නේ මේක. මිනිස්සු විශ්වාස කරනවා වෙනස්කම් ඇතිවෙලා ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියක් රාජ්‍ය සේවයක් ඇතිවෙයි කියලා.. කෘෂි, වැවිලි හා ධීවර කර්මාන්තයේ අය නිසයි රජයක්, රටක් අපි දුවවන්නේ. වතුර හා පොහොර දෙන්නේ ගොවියාට නෙවෙයි. රට වෙනුවෙන් අපි පොහොර දෙන්නේ. ඒක නැත්නම් අපිට පඩි ගෙවන්නත් බැහැ.”

“වළං හදන අය, කුඩා තේ වතු හිමියෝ විනිමය ගේනවා. ධීවරයින්ගෙන් රටේ අය යැපෙනවා. වීවලට සහතික මිලක් දෙන්න අපි කොච්චර වෑයමක් දරනවද?.. රාජ්‍ය සේවයෙන් කරන්නේ හදපු වී බෙදන එක. ගොවියා මහන්සි වෙලා ලබාදෙන හාල් පාරිභෝගිකයාට ලබාදෙන එක අපි කරන්නේ. වෙලාවට වතුර, පොහොර දෙන්න බැරිනම් වැඩක් නැහැ.”

“අපිට ඉක්මනට ප්‍රතිඵල ඕනේ. ලේකම්වරයෙක්ව සිටියදී මම හරි තීරණ ගත්තා. උසාවි ගිහින් ඔක්කොම වෙලා අන්තිමට ජනාධිපති වුණා. හරි තීරණ ගත්තාම වරදින්නේ නැහැ. ඒක ස්වභාවධර්මයෙන්ම හැදිලා තියෙන්නේ.”

“හරි තීරණ ගත්තොත් මුකුත් කරන්න බැහැ. බය නැතුව තීරණ ගන්න. ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා.”

එසේම ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිතුමා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

Rivira Ads
To Top