,
News

අපි දීපු පොරොන්දු ඉටු කරන රජයක් – අගමැති මහින්ද රාජපක්ෂ

(RIVIRA.LK, 2020 අගෝස්තු 27 පෙරවරු 11.42ට)

කොවිඩ් වසංගතය පටන් ගැනීමටත් පෙර රජය විසින් වැටිච්ච ආර්ථිකය ගොඩගන්න ආර්ථික පුනර්ජනන ආරම්භයන් කියල පැකේජ්යන් හඳුන්වා දීමට කටයුතු සිදු කළ බවත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අඩු පොලී යටතේ ණය දීම සහ එවකට පැවති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමටත් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගෝස්තු 27 වන දින පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සැප්තැම්බර් 01 වන දින සිට දෙසැම්බර් මාසය දක්වා වූ කාලය සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ය.

එමෙන්ම, කොවිඩ් වසංගත තත්ත්වය යටතා් ලොක් ඩවුන් ආරම්භ කරලා මාසයක් යන්නට මත්තෙන් විය හැකි වූ අවදානම මනාව තේරුම් ගෙන පෙර හඳුන්වා දුන්නාට වඩා පුළුල් පැකේජයක් ජනතාවට හඳුන්වා දුන් බවත් ඒ තුළින් රටේ ව්‍යවසායකයාට, දේශීය කර්මාන්තකරුවාට අපි නොසිතූ ආකාරයට ආර්ථිකය තුළ කටයුතු කරමින් රැඳි ඉන්න හැකි වූ බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. ඒ තුළින්, අපනයන ආදායම නොසිතූ ලෙස වැඩි වූ බව ද අගමැතිවරයා අනාවරණය කළා. අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

ගරු කාරක සභාපතිතුමනි, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පිහිට වූ නව රජයේ අග‍්‍රාමාත්‍ය ධූරයට අමතරව මුදල් අමාත්‍යවරයා වශයෙන් මා වැඩ බාරගනු ලැබුවේ 2020 අගෝස්තු මස 18 වැනි දිනයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ බොහෝ රටවල් අතිශයින් දුෂ්කර සහ අසරණ තත්ත්වයට පත් වූ අවස්ථාවක, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන පිළිඅරන් තියෙනව ලංකාව වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දී ඇති බව.

පාර්ලිමේන්තුව පවා ක‍්‍රියාත්මකව නොපවතින අවස්ථාවක වුවද සංවිධානාත්මක වැඩපිළිවෙළක් සහිතව රටේ ආයතන ව්‍යුහය ශක්තිමත්ව කටයුතු කළ නිසා ඒ අවස්ථාවට අපට නිර්මාණශීලීව මුහුණදීමට හැකි උනා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ත‍්‍රිවිධ හමුදාව සහ පරිපාලන ව්‍යුහය එමෙන්ම බැංකු පද්ධතිය ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන ඉතා හොඳින් මෙහෙයවන්න රටේ දූරදර්ශී නායකත්වයට හැකි උනා.
රට අගුලූ දාලා තිබුණ අවස්ථාවක රටේ ආර්ථික කටයුතු ක‍්‍රියාත්මක කරන්න අවස්ථාව සැලසුවා. විශේෂයෙන් කෘෂි කර්මාන්තය, පවත්වා ගන්න විශේෂ පහසුකම් ලබා දුන්නා.

2019 නොවැම්බර් මස මෙම රජය බාරගන්නා විට රටේ ආර්ථිකය තිබුණේ ඉතාම අවදානම් තත්ත්වයක.

අපි 2014 රට බාරදෙන කොට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 5 ත් සියයට 6 ත් අතර පැවතුනත් මේ තත්ත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන මට්ටමට එනම්, සියයට 2 දක්වා අඩුවෙලා තිබුණා.

රටේ ව්‍යාපාර කඩා වැටිලා තිබුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තවලට, ඖෂධ සමාගම්වලට, පොහාර සමාගම්වල බිල්පත් ගෙවල තිබුනෙ නැහැ. ඒ අනුව 2019 නොපිය වූ බිල්පත් රුපියල් බිලියන 242 ක්, ඒ කියන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.3 කට වැඩි ප‍්‍රමාණයක් මේ අවුරුද්දේ අපට දරාගන්න සිද්ධවෙලා තියෙනවා. 2019 දී අයවැය හිඟය සියයට 6.8 ක් කියලා වාර්තා වුනාට ඇත්තටම අයවැය හිඟය මේ නොගෙ වූ බිල්පත් එක්ක සියයට 9 ට වඩා වැඩි අගයක් ගන්නවා.

මේ සියල්ල නිසා ආර්ථික කටයුතු අඩාල වෙලා තිබුණා. මේ පැවති තත්ත්වය තුළ ආර්ථිකය සංකෝචනය වෙලා තිබුණා. ඒ වගේ තත්ත්වයක් තුළ පැවති බදු ක‍්‍රමය කිසිලෙසකවත් ආර්ථිකයට උත්තේජනයක් ලෙස ක‍්‍රියාත්මක උනේ නැහැ. මේ වනවිට රටේ පැවති ඉහළ පොලී අනුපාත දේශීය ආර්ථිකයට සරිලන නව ආයෝජන අවස්ථා සඳහා කිසිඳු ඉඩක් ලබාදුන්නේ නැහැ. අපේ රටේ මිනිසුන් තුළ තියෙන නිර්මාණශීලී වයවසායකත්වය මල්ඵල ගන්වන්න මේ පැවති ආර්ථික ව්‍යුහය තුළ කිසිඳු ඉඩක් තිබුණේ නැහැ. මේ තත්ත්වය පසුගිය වසරවල රටේ සිටිය කිසිඳු පාලකයෙකුට තේරුම් ගන්න බැරි උනා.

කොවිඩ් වසංගතය පටන් ගන්නත් ඉස්සෙල්ලා තමයි රජය විසින් වැටිච්ච ආර්ථිකය ගොඩගන්න ආර්ථික පුනර්ජනන ආරම්භයන් කියල පැකේජ් එකක් හඳුන්වා දුන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අඩු පොලී යටතේ ණය දීම සහ එවකට පැවති ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තේ.

කොවිඩ් වලින් පස්සේ ලොක් ඩවුන් ආරම්භ කරලා මාසයක් යන්නට මත්තෙන් විය හැකි වූ අවදානම මනාව තේරුම් අරගෙන ඊටත් වඩා පුළුල් පැකේජයක් ජනතාවට හඳුන්වල දුන්නේ. ඒ තුළින් රටේ ව්‍යවසායකයාට, දේශීය කර්මාන්තකරුවාට අපි නොසිතූ ආකාරයට ආර්ථිකය තුළ කටයුතු කරමින් රැඳි ඉන්න හැකිවෙලා තියෙනවා. අපනයන ආදායම නොසිතූ ලෙස වැඩිවෙලා තියෙනවා.

මෙවැනි පසුබිමක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළේ. මේ ප‍්‍රතිපත්තිය දේශීය ව්‍යාපාරිකයා මූලික කරගත් ප‍්‍රතිපත්තියක්. මේ ප‍්‍රතිපත්තිය තුළ රටේ සෑම අස්සක් මුල්ලක්ම සිටින පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්, ඒ කියන්නේ ආර්ථික වශයෙන් බලගැන්වූ සුරක්ෂිත රටක ජීවත්වීමේ අභිලාෂය උදාකර දෙන්න හැකියාව තිබෙනවා. මෙම පුළුල් අභිලාෂය සාක්ෂාත් කර ගන්න හැකි වන පරිදි රටේ දේශීය ආර්ථිකය පුළුල් වශයෙන් විග‍්‍රහ කරල තමයි අමාත්‍යාංශවල විෂය පථයන් තීරණය කළේ. මේ හැම අමාත්‍යාංශයකටම පවරන විෂය පථය අධ්‍යයනය කළොත් ඇත්තටම සෞභාග්‍යයේ දැක්ම කරා යන මාවත ඉතාම පැහැදිලිව පේනවා.

2019 නොවැම්බර් මස ජනාධිපතිතුමා පත්වෙනකොට නව රජයක් පත්කරගෙන අළුත් ආර්ථික ප‍්‍රතිපත්තියක් තුළින් මේ රටට හොඳින් ආර්ථිකයක් දෙන්න තිබුණ අවස්ථාව පාර්ලිමේන්තුවේ සුලූතර රජයක් පැවති බැවින් අහිමි කලා. නොගෙවූ බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේ දී මා විසින් ඉදිරිපත් කළා. නමුත් එදා බහුතර බලයක් තිබුණ අද විපක්ෂය ඒකට බාධා කළා. එදා ආර්ථිකය පණ ගන්වන්නට තිබුණ අවස්ථාව මේ තීරණයත් සමඟ පරක්කු වුණා. එවැනි තත්ත්වයක් තුළ තමයි මට අද සිද්ධවෙලා තියෙන්නේ 2020 වර්ෂය වෙනුවෙන් තෙවන පරිපූරක ඇස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න.

2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 ක කාලය සඳහා රජයේ වියදම් දරන්න රුපියල් බිලියන 1,900 ක් වෙන් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1,300 ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියළු පරිපූරක ඇස්තමේන්තු 2020 වර්ෂය සඳහා විසර්ජන පනත් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා.

2020 පළමු මාස 8 තුළ මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910 ක් පමණ ලබාගනු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුළ රජයේ සේවකයින්ගේ පඩිනඩි සඳහා රුපියල් බිලියන 521 ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 675 ක් වැය වන අතර රජයේ සහනාධාර හා වෙනත් සංක‍්‍රාම සඳහා රුපියල් බිලියන 390 ක් පමණ වැය වෙනවා. ඒ අතරම 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහා ද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා.

මේ අනුව රජයේ වියදම් යම් ප‍්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමඟ රජයේ අයවැය හිඟය අඩුකිරීමට පියවර ගනිමින් සිටිනවා.

පසුගිය කාලය තුළ මුළු ණය කළඹෙන් හරි අඩක් විදේශීය ණයවලින් සමන්විත උනා. මෙම තත්ත්වය තුළ රුපියල් බිලියන 9 කට ආසන්න සියළුම ව්‍යාපෘති ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කලා. මේ තුළ සමහර ව්‍යාපෘති තියෙනව දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් අඩු මිලට ඉටුකර ගන්න තිබුණ. සමහර ව්‍යාපෘතිවල ඇත්තටම සමාජීය හෝ ආර්ථික ප‍්‍රතිලාභයක් නැහැ.

ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනව කියලා මෙයින් අදහස් කරන්නේ නැහැ. අපි මෙහිදී ණය වෙනුවට ආයෝජන ප‍්‍රවර්ධනය කරන්න මූලිකවම කටයුතු කරනවා. මේ ප‍්‍රතිපත්තිය තුළින් රජයේ වැය බර අවම කරල ආර්ථිකය වර්ධනය වෙන්න අපිට සලස්වන්න පුළුවන්.

අපි දිපු පොරොන්දු ඉටුකරන රජයක්. අපි දීපු පොරොන්දු නිසි ආකාරව ඉටුකරන නිසා තමයි අපි ඡුන්දෙට කලින් දෙන්න පොරොන්දු උන රැකියා 160,000 ඡන්දෙ ඉවර වෙලා සති දෙකක් තුළ දෙන්න පටන් ගත්තේ.

අපි මේ නිර්මාණය කරපු ශ‍්‍රම බලකාය වෙනදා රැකියා දෙනව වගේ කාර්යාලවලට සීමා වෙන්නේ නැහැ. ඔවුන් ආර්ථික කටයුතුවලට සෘජුවම දායකවන බලකායක් ලෙස කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් වැනි වූ අංශ වෙත යොමු කරනවා. ඔවුන්ව නිසි වාත්තීමය හැකියාවන්ගෙන් සන්නද්ධ බලකායක් කරනවා. ඒ තුළින් සමාජයේ දුප්පත් පවුල් සවිබල ගන්වනවා.

අපි මේ රජය බාරගන්න කොට අල්පෙනෙත්තේ සිට මහා පරිමාණ යන්ත‍්‍ර සූත‍්‍ර දක්වා මේ රටට ආනයනය කරනවා. සියඹලා විතරක් නෙමෙයි දේශීය ගොවියට හානිකර ලෙස හඳුන්කූරුත්, ගම්මිරිස්, කහ පවා ආනයනය කළා. සරුංගලූත් ගෙනාවා. වෙසක් කූඩුත් ගෙනාවා.

මේ තුළින් දේශීය කර්මාන්තකරුවා අධෛර්යමත්වන අතරම නව නිෂ්පාදන වෙළඳපලට ගෙන ඒමට මැලි වෙලා තියෙනවා. අපේ විදේශ සංචිත ඇත්ත වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා.

මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස උච්ඡාවචනය වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයනය අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කරලා තියෙනවා. මෙහි ප‍්‍රතිඵල අද අපිට පේනවා. මේ තුළින් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගන්න අපිට හැකිවෙලා තියෙනවා. මේ වගේ අවසාන ප‍්‍රතිඵලය ලබන්නේ කවුද? අපේ දේශීය ව්‍යවසායකයා, අපේ පාරිභෝගිකයා ඇත්තෙන්ම අපේ ජනතාව.

මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය පනගන්වන්නට. ඒකට ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ වගකීමට උරදෙන්නේ ඒ පිළිබඳව හොඳ අවබෝධයකින්. සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්තයක් කිරීමට මේ රජය හා එක්වන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.

Rivira Ads
To Top