(RIVIRA.LK, 2020 අගෝස්තු 28 පස්වරු 01.51ට)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුරදී ටයරයක් හිස මතට වැදීමෙන් මුහුණ දුන් අනතුරක් හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබු එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ පසිඳු හිරුෂාන් ශිෂ්‍යයා විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වගකීම් පැහැර හැරීම ඔස්සේ යම් වරදක් සිදුකළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබ තිබෙනවා.
කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරමින් අනතුරට පත් පසිඳු හිරුෂාන් ශිෂ්‍යයාගේ නීතීඥ ශවේන් ද සිල්වා ගොනු කළ මෙම පෙත්සමෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළට මත්පැන් ගෙන රැගෙන ඒම, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්, කණිෂ්ඨ ශිෂ්‍යන් වෙනුවෙන් සංවිධානය කළ සාදය රාත්‍රී 10 වන තෙක් පමණක් පැවැත්වීමට අවසර ලබා දී තිබිය දී එය නවතා දැමීමට කිසිදු පියවරක් පාලනාධිකාරිය නොගැනීම, සාදය හා ඒ හා සම්බන්ධ සිදුවීම් නිසිලෙස සොයා නොබැලීම යන කරුණු අන්තර්ගත කර ඇති බව සඳහන් කර තිබේ.
එමෙන්ම, ඉදිරියේදී ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වධය වැනි සාහසික ක්‍රියාකාරකම් සිදු නොවීමට අදාළව ශක්තිමත් හා ස්ථීරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා රීති මාලාවක් සකස් කිරීමට අවශ්‍ය අවධානය යොමු කරන ලෙසද එම මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පසුගිය මාර්තු මස 5 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ සාදයක් අතරතුර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කිහිපදෙනකු විසින් පසිඳු හිරුෂාන් ශිෂ්‍යයාගේ හිසට ටයරයක් දැමීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
ඉන් අනතුරුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් මූලිකව මෙම සිදුවීම පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් කළ අතර ඉන් පසුව මිරිහාන පොලිසිය මගින් කරන ලද විමර්ශනයෙන් පසුව සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
ඉන් සිසුන් පස්දෙනකු ඇප මත මුදාහැර එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු තවදුරටත් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. අත්අඩංගුවට ගත් අය සම්බන්ධ නඩු විභාගය මේ වන විට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී

