(RIVIRA.LK, 2020 අගෝස්තු 28 පස්වරු 03.40ට)
ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කිරීම පිළිබඳව අගෝස්තු මස 25 වන දින සිට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සිදු කර ඇති විනාශය සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදය පළ විය.
මේ වන විට, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, එහි මූලික පියවරක් ලෙස වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් හා නඩු භාණ්ඩ අනාවරණය කරගැනීම සඳහා ඉදිරි විමර්ශන කටයුතු පොලීසිය සමඟ එක්ව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව මෙම අභය භූමියෙන් හෙක්ටයාර 1397ක ප්‍රමාණයක් 1997 මැයි 11 දින අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ප්‍රධාන වැව් පද්ධතියකින් ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රැම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 03 වැනි දා රැම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ මෙරට දෙවැනි රැම්සා තෙත් බිම ලෙසය. මෙරට ප්‍රථම රම්සා තෙත් බිම බුන්දල වේ.
මහා පරාක‍්‍රමබාහු රජු පොළොන්නරුවේ රජවන්නට ප‍්‍රථම, කුමාර අවධියේදී මෙම ස්ථානයේ ඉහත වැව් සංකීර්ණය සාදවා ප‍්‍රදේශයේ කෙත්වතු අස්වද්දවා ඇති බව විශ්වාස කරන අතර, අභය භූමියේ ලන්දේසි ඇළ පිහිටි ප‍්‍රදේශය මෙසේ බුල්ඩෝසර කර ඇතැයි පරිසරවේදීහු පවසති.
ආනවිලුන්දාව අභය භූමීය සුවිශේෂී වන්නෙ එකිනෙකට යාබදව පිහිටි එකිනෙකට වෙනස් පරිසර පද්ධති ත්‍රිත්වයක ඇති අන්තර් සබැඳියාව හේතුවෙනි. වෙරළ, ඊට යාබද කඩොලාන පද්ධතිය සහ ඊට නුදුරින් ඇති මිරිදිය පොකුණු පද්ධතිය එකිනෙකට වෙනස් පාරිසරික පද්ධති ත්‍රිත්වයක් නිර්මාණය කරයි. මේ හේතුවෙන් ආනවිලුන්දාව ජලජ පක්ශීන්ගෙ පරාදීසයක් බවට පත්ව තිබේ. කඩොලාන පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය (National policy on mangroves) අනුව නැවත ප්‍රතිශ්ඨාපනය වෙමින් තිබු කඩොලාන කලාපයක් මෙලෙස විනාශ කිරීමෙන් මෙතෙක් කල් ඒ සඳහා යොදවා තිබු දැඩි කැපකිරීම අවතක්සේරු කර ඇතිවාක් මෙන්ම තෙත් බිම් පිළිබඳව RAMSAR සම්මුතියත් , සංක්‍රමණික සත්ව විශේෂ පිළිබඳව BONN (CMS) එකඟතාවත් උල්ලංඝනය කිරීම සිදුකර ඇත.

