,
Politics

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මං සූදානම් – රුවන් විජේවර්ධන

(RIVIRA.LK, 2020 අගෝස්තු 29 පස්වරු 10.02ට)

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනිමට තමා සූදානම් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන පවසයි. ඔහු මේ බව පැවසුවේ, අගෝස්තු 29 වන දින එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර, නැගෙනහිර ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී, ප්‍රථමයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කළේ, එම අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ තවත් එක් හැරවුම් ලක්ෂයක ආරම්භය බවයි. එමෙන්ම, එය නියත එක්සත් ජාතික පක්ෂ රජයකට යන ගමනේ මංගල පස්පිඩැල්ල කපන මොහ‍ොත බවයි. එය එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් බලා සිටි සැබෑ අත්තිවාරම බවත් එය කිසිවෙකුටත් ගැලවිය නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා. පසුව, එක්සත් ජාතික පක්ෂයට ජව සම්පන්න තරුණ නායකත්වයක් අවැසි බවත් ඒ සඳහා රුවන් විජේවර්ධනට පක්ෂ නායකත්වය ගන්න ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියා.

ඉන්පසුව අදහස් දක්වමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන ‘‘අපේ පක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා වෙනම පක්ෂයකින් මහමැතිවරණයට ඉදිරිපත් වුනා. ඒක අපිට අභියෝගයක් වුනා මේ අවස්ථාවේ. අපේ පාක්ෂිකයන් ගොඩාක් කළකිරුනා. ඒ නිසා තමයි ඇත්තෙන්ම අපිට මෙවැනි පරාජයකට අපිට මුහුණ දෙන්න වුනේ. මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජයක් නෙමෙයි. මං මේක දකින්නේ අවස්ථාවක් හැටියට.

දැන් අවස්ථාවක් තියෙනවා අපිට කොතැනද වැරදුනේ කියලා හොයා ගන්න. අවස්ථාවක් දැන් තියෙනවා මේ පක්ෂෙ තුළ ප්‍රතිසංවිධාන කටයුතු සියල්ලක්ම කරන්න. අපිටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක යන්න තිබ්බා.ලේසියෙන් දිනා ගන්නටත් තිබ්බා. නමුත් අපි ප්‍රතිපත්ති දේශපාලකයෝ. අපිට මේ පක්ෂය දාලා යන්න බෑ. පාර්ලිමේන්තුවට නොගිය එක මම කණගාටු වෙන්නේ නෑ. මම හරි තීරණයක් ගත්තේ.

අපේ ආශු මාරසිංහ මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට තමුන්නාන්සේලාට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන බව මේ අවස්ථාවේදි ප්‍රකාශ කරන්නට ඕනේ ‘ යැයි පැවසුවා.

මීට පෙර, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් තමන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව දැනුම් දුන් පසුව පක්ෂ නායකත්වය භාර ගැනීමට හිටු කතානායක කරු ජයසූරිය වෙත ද ඉල්ලීම් ගලා ආවේය.

ඒ අනුව, හිටපු කථානායක කරු ජයසූරිය විසින් ද තමන් පක්ෂයේ නායකත්වය භාර ගැනීම සූදානම් බව අගෝස්තු 24 වන දින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙත දැනුම් දෙන ලදී. කෙසේ වෙතත්, කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ සාමාජිකයෙකු නොවන බව පවසමින් ඔහුට නායකත්වය භාර ගැනීමට නොහැකි බව පවසමින් විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල විය.

Rivira Ads
To Top