,
Environment

ලංකාගම පාර ප්‍රතිසංස්කරණයට ජනපති අනුමැතිය, ජනපතිගෙන් විශේෂ උපදෙස් රැසක්

(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පෙරවරු 11.22ට)

සිංහරාජ වනාන්තර රක්ෂිතයට සහ එහි පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන ලෙස නෙළුව – ලංකාගම – පිටදෙණිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අගොස්තු 29 පෙරවරුවේ අදාළ ප්‍රදේශ නැරඹීමට පුද්ගලිකවම එහි ගිය ජනාධිපතිවරයා සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නෙළුව සිට ලංකාගම ඔස්සේ පිටදෙණිය දක්වා වූ මාර්ගය දින 90ක් ඇතුළත ප්‍රතිසංස්කරණය කර අවසන් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්, පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

එසේම ලංකාගම ග්‍රාමයේ ඇති වැල් පාලම වෙනුවට අඩි 120ක දිගකින් හා අඩි 6ක පළලකින් යුත් පාලමක් ගිංගඟ හරහා ඉදිකිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය. එම මාර්ගය ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියාය දක්වා දිනපතා බස් රථයක් ධාවනය කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික දැනුමැති විද්වතුන්ගේ වාර්තාවක් ද ලබාගෙන තිබූ ජනාධිපතිවරයා නෙළුව සිට ලංකාගම හරහා පිටදෙණිය තෙක් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ කොළඹ හා වෙනත් ප්‍රදේශවල ජීවත්වන පිරිස් පළ කළ අදහස් පිළිබඳ සොයා බැලීම සඳහා ගුවනින් එම ස්ථානයට ගිය ජනාධිපතිවරයා එම ඉදි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ ලෙස සොයා බැලීමක් සිදු කළේ ය.

මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වන රක්ෂිතයට හානි සිදුවන බව ඇතැම් පරිසර සංවිධානවලින් ප්‍රකාශයට පත් කොට ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමත් සමග නිසි අධ්‍යයනයක් සිදුකරන තෙක් එහි ප්‍රතිසංස්කරණ කටයුතු නවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේ ය.

කෙසේ වෙතත් පරිසරය සුරැකීම ද මූලික වගකීමක් හා යුතුකමක් ලෙස සැළකිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලංකාගම, වතුගල, නිල්වැල්ල, කොලොන්තොටුව හා පිටදෙනිය ගම්මානවල ජීවත්වන 700 ක⁣ට ආසන්න පවුල් සඳහා පැළ තුන බැගින් ලබාදෙන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය. ඒවා සිටුවා රැකබලාගෙන වනාන්තරයට දායාද කරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ද ඉල්ලා සිටි⁣යේය.

නව මාර්ගය ඉදි කිරීමට පෙර ලංකාගම වැසියන්ට දෙනියායට යාම සඳහා පැය 4ක කාලයක් ගත වුවද මාර්ග ඉදි කිරීමෙන් පසු එම කාලය විනාඩි 45ක් දක්වා අඩුවන බව ද ප්‍රකාශ විය.

වැඩිදුර කියවන්න

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top