,
Environment

“මහනුවර කම්පනය, භූමි කම්පාවක් නොවේ” – භූ විද්‍යා කාර්යංශය

(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 12.48ට)

මහනුවර දිස්ත‍්‍රික්කයේ හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට අගෝස්තු 29 දින රාත‍්‍රීයේ භූමියේ යම් කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සඳහන් කළා.

එහෙත් මෙම කම්පන තත්වය, භුචලනයක් නොවන බව ද සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අගෝස්තු 29 දින රාතී‍්‍ර 08.30 ට පමණ එම කම්පන තත්වය ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. එසේම ඒ බව තහවුරු වන බව පවසන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ මහනුවර, පල්ලෙකැලේ ප‍්‍රදේශයේ පිහිටි භූ චලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවයි. එහෙත් එම චලනය ස්වභාවික සංසිද්ධියක් නොවන බව විශ්වාස කෙරෙන බව එම මධ්‍යස්ථානය අවධාරණය කළා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි. ඔහු පෙන්වා දුන්නේ රාත්‍රී 08.32ට පමණ මහනුවර හාරගම ප්‍රදේශයෙන් යම් කම්පනයක් වාර්තා වී ඇති බවත්, එම කාර්යංශයේ භූ කම්පන මධ්‍යස්ථානය තියෙන්නෙ පල්ලෙකැලේ ප්‍රදේශයේ බවත් එම කම්පනය එම මාපකයේ සටහන් ව ඇති බවත් වාර්තා වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවා. “මේක ඇත්තටම භූ කම්පනයක් නොවෙයි. භූ කම්පනයක් ආවා නම් අපේ මධ්‍යස්ථාන 5ක් තියෙනවා මිහින්තලේ, පල්ලෙකැලේ, හක්මන, පුත්තලම සහ කොළඹ. මේක සටහන් වෙලා තියෙන්නෙ පල්ලෙකැලේ විතරයි. මේක භූ කම්පනයක් නෙවෙයි, භූ කම්පනයක් සිදුවෙනවා නම් මාපක අගය 2.0කට වඩා වැඩි වෙනවා නම් විතරයි භූ කම්පනයක් හැටියට සලකන්නේ. අනිත් එක එහෙම දෙයක් රට තුළ සිදුවුණා නම් අපේ මධ්‍යස්ථාන පහේම මේක සටහන් වෙනවා. එහෙම සටහන් වෙලා නෑ කියන්නෙ මේක ඇත්තටම භූ කම්පනයක් නෙවෙයි.”

විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව ද සභාපතිවරයා පැවසීය.

“මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අපි සැලසුම් කරලා තියෙනවා. කිසිසේත්ම මේ සම්බන්ධයෙන් බිය වියයුතු නෑ. එහෙම දෙයක් තියෙනවා නම් අපට කලින් දැනුවත් කරන්න හැකියාවක් තියෙනවා. මොකද මෑත කාලයේ සමහරක් තැන්වල පොළව රත්වීමත් එක්ක ගෙවල්වල ටයිල් පිපිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න ස්වභාවික භූ කම්පනයක් නෙවෙයි. කිසිදු බියක් ඇති කරගත යුතු නෑ කියන එක මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා” භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ සභාපති අනුර වල්පොල වැඩිදුරටත් සඳහන් කළේය.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top