,
Politics

එජාප නායකත්වය බාර ගන්න මම සූදානම් – අර්ජුන රණතුංග

(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 01.21ට – යාවත්කාලීන කිරීම පස්වරු 07.40ට)

පක්ෂය තීරණය කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගෙන පක්ෂයේ අනාගතය සුරක්ෂිත කිරීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

නමුත් තමන් සල්ලිකාරයෙක් නොවන බවත්, මුදලාලිලා පස්සේ නොයන බවත් පවසන අර්ජුන රණතුංග කියා සිටින්නේ පක්ෂ නායකත්වය ලබා ගැනීමට තමන්ට කෑදරකමක් නොමැති බවයි. එහෙත් පක්ෂය විසින් තීරණය කර පක්ෂය බෙදීමකින් තොරව පවත්වාගෙන යෑමට තමන් පූර්ණ වශයෙන් සහය දෙන බව ද අර්ජුන රණතුංග පැවසුවා.

ඔහු මේ බව සදහන් කළේ, අගෝස්තු 30 පෙරවරුවේ මහර පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යය අමතමිනි.

මේ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසුම තැනැත්තා වන්නේ කරු ජයසූරිය බව ද අර්ජුන රණතුංග පෙන්වා දුන්නා.

රුවන් විජේවර්ධන ද නායකත්වය බලාපොරොත්තුවෙන් සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මෙසේ ද කියා සිටියා.

“එක එක්කෙනාට, එක එක ආසාවල් තියෙනවා. මං හිතන්නේ ඒක කාටවත් නවත්තන්න බැහැ. මේ නායකයෝ කියන්නේ, බූදලයෙන් එන එකකුත් නැත්නම් පරම්පරාවෙන් එන නායකත්වයකුත් නෙමෙයි. මේක මිනිස්සුන්ගේ පක්ෂයක්. එහෙම නැතුව මේක මගේ පක්ෂෙකුත් නෙමෙයි. රුවන්ගේ පක්ෂෙකුත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙකුත් නෙමෙයි. මමත් ඉල්ලනවා. මං තමයි නායකයා වෙන්න ඕනේ. මගේ පරම්පරාවෙන් එනවා. නැත්නම් මං මෙහෙම කරලා තියෙනවා. එහෙම නෙමෙයි නායකයෝ වෙන්නේ. මෙතන හිටපු අයට තිබුනා වෙන වෙන අදහස්. මේ දැන් එනවා මේවා එළියට. මොනවාද දැන් කියන්නේ කියලා දැන් අපිට තේරෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායම ඒ යන්න දුන්න කණ්ඩායම තමයි දැන් මේක නැවත කඩන්න හදන්නේ. ඡන්ද බලයක් නැති වෙනම කණ්ඩායමක්. ඉතින් මං ඒ ගැන කණගාටු වෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.”

“නායකත්වය බාර ගන්න මම සූදානම්”

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා දක්ෂයෙක්. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. හැබැයි, අද වෙනකොට එතුමාව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එක අතකින් එතුමාත් ඉන්න කැමැත්තක් නැහැ. හැබැයි, එතුමා බලාපොරොත්තු වෙන්න ඕනේ මේ පක්ෂය තවත් කඩන්නේ නැතුව, පක්ෂය ඉදිරියට ගෙනියන්න නායකත්වය එතුමා දෙන්න ඕනේ. එහෙම නැතුව මේ එක එක්කෙනාගේ කරට මේක දාලා ඒකෙන් ලැබෙන එක නෙමෙයි මම නම් බලාපොරොත්තු වෙන්නේ.

මේ වෙලාවට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි කරු ජයසූරිය මහත්තයාට භාර දෙන එක. කරු ජයසූරිය මහත්තයාගේ නායකත්වයෙන් අපිට මේක හදන්න හරි ලේසියි.මේ කරන ක්‍රමයට ගියොත් එහෙම මේක ඉදිරි කාලයේ දි තමන්ගේ පක්ෂයක් බවට පත්වෙයි. මහජනතාවගේ පක්ෂයක් වෙන්නේ නැහැ” යැයි ද ඔහු සඳහන් කළා.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ අර්ජුන රණතුංග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ද අමාත්‍යධූර දරා තිබෙනවා. කෙසේ වෙතත් පසුව මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වී විපක්ෂය සමග එක් වූ අර්ජුන රණතුංග 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට සිය සහය පළ කළා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top