,
Politics

විග්නේස්වරන් මන්ත්‍රීතුමනි, ඔයාට ප්‍රබාකරන් කෙනෙක් වෙන්න වයස වැඩියි, පාඩුවේ ඉන්න – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුව රත් කරයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 02.50ට)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් තමන් කළ අධ්‍යනයන් හා සිදුකර ඇති අධ්‍යයනයන් අනුව තමන් සිදුකළ ප්‍රකාශ සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් ඉතිහාසගත කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර බැලිය යුතු බවත් තමිල් මක්කලෙයි තේෂීය කුට්ටනී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් පවසනවා.

ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට ශ්‍රී ලංකාව හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව එහිදී අනාවරණය වී තිබෙන බව ද මන්ත්‍රීවරයා අගෝස්තු 28 දින පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් තමන් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ අය යම් යම් කතා කියූව ද තමන් පැවසූ කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරිමට සහ කරුණු පැහැදිළි කිරීමට තමන්ට හැකියාව ඇති බව ද මන්ත්‍රී විග්නේස්වරන් කියා සිටියා.

වර්තමානේ දෙමළ ජනතාවට ජීවත් වීමට සිදුව ඇත්තේ සිංහල බෞද්ධ ආධිපත්‍යයට යටත්ව බව ද විග්නේස්වරන් කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, විග්නේස්වරන් මන්ත්‍රීවරයාට අනතුරු අඟවමින් සඳහන් කළේ සිංහල ජනතාව පහත් කොට කතා කිරීමට සූදානම් නොවන ලෙසයි.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියා.

“එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාවය කියලා. එතකොට එතුමා නොකියා කියන්නේ සිංහල ජනතාව ඊට පස්සේ මේ රටට ආපු ජනතාවක් කියලා. මම එතුමට මතක් කරදෙන්න කැමතියි මේ රටේ සිංහල ජනතාව අවතක්සේරු කරලා සිංහලයට මේ රටේ තියෙන තැන නැති කරන්න හදන කිසි කෙනෙකුට මේ රටේ පැවැත්මක් නෑ කියන එක.”

සරත් ෆොන්සේකා ඉංග්‍රීසි භාෂාවෙන් පැවසූ ප්‍රකාශයේ සරල සිංහල පරිවර්ථනය මෙසේය.

“විග්නේෂ්වරන් මන්ත්‍රීතුමනි, ඔබ මතක තියා ගත යුතුයි, අතීතයෙත් මිනිස්සු හිටියා මේ රටේ සිංහල ජනතාව හෑල්ලුවට ලක්කරන්න උත්සහ ගත්ත. අපිට මතකයි අමිර්තලිංගම් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසානයේදී ඒ දෙමළ තරුණයින්ගේම උණ්ඩයකටම මුහුණ දෙන්න සිදුවුනා.”

“ප්‍රභාකරනුත් හිතුවා එයාට පුළුවන් කියලා මේ රට බෙදලා දෙකඩ කරන්න. මේ රට ඇතුලේ වෙනම රටක් හදාගන්න පුලුවන් කියලා හිතුවා. එයාට වෙච්ච දේත් අන්තිමේදි දැක්කා. අවාසනාවට විග්නේෂ්වරන් මහත්තයා ගොඩක් වයසයි. ඒ නිසා එයාට ප්‍රභාකරන් කෙනෙක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා විග්නේෂ්වරන් මැතිතුමනි, ඔබට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. සිංහලයා පහත් කරන්න උත්සහ කරන්න එපා. ඔබ එසේ කිරීමට උත්සහ කරොත් ඔබට ඉතාමත් කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි. මොකද ඔයා ඉතා වයස නිසා. ඒ හින්දා වැඩි කාලයකුත් නෑ. ඒක නිසා ඔබතුමා වෙන වැඩක් බලාගත්තා නම් හොඳයි.”

Rivira Ads
To Top