Environment

ආනවිළුන්දාව ඩෝසර් කිරීම; ප්‍රබල දේශපාලකයෙකුගේ සොයුරෙක් ගැන බුද්ධි අංශ සොයයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 08.25ට)

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් අනවසරයෙන් එළි පෙහෙළි කිරීමට අණ දුන් ප්‍රබල දේශපාලඥයෙකුගේ සොයුරෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් බුද්ධි අංශ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවට පොලීසිය සඳහන් කරයි.

මේ වන විට බන්ධනාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින් පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව අදාළ සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා පවසයි.

අභය භූමියට අයත් ඉඩම ඩෝසර් කිරිමට අනුබල දුන් අදාළ ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා මේ වන විට ප්‍රදේශයේ නොමැති බව අදාළ සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.

කෙසේ වෙතත්, මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගණනාවක් විමර්ශන අරඹා ඇති බවත් අදාළ සැකකරු ඉදිරි දින කිපය තුළ පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් පසුගිය අගෝස්තු 25 වන දින රාත්‍රියේ අනවසරයෙන් එළි පෙහෙළි කිරීමේ සිද්ධියට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයෙක් හා අභය භූමියට අයත් ඉඩම එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රය හා රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
To Top