සෞඛ්‍ය

තරුණ පිරිමි දරුවන් අතරේ ඒඩ්ස් පැතිරීම ඉහළ ගිහින්, 1,600ක් රෝගය ගැන නොදැන ප්‍රතිකාර නොගෙනම සමාජයේ සිටී

(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පෙරවරු 10.19ට)

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19–25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර H.I.V. ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වලින් සිදුකරන ආසාදිතයින් හදුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව මෙම කණගාටුදායක තත්වය මෑතක සිට ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බව හදුනාගත් බවද අධ්‍යක්ෂවරිය පැවසුවේ අගෝස්තු 29 දින පැවති විශේෂ සාකච්ජාවකදීය.

මීට අමතරව තවත් විශේෂ කරුණක් කෙරෙහි සමාජයේම අවධානය යොමුවිය යුතු බවද ඇය පැවසුවාය. එනම් විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට තුල H.I.V. ආසාදිතයින් 3600 (තුන්දහස් හයසියයක්) ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගත යුතු වුවත් දැනට ලියාපදිංචි වී සිටින්නේ පුද්ගලයින් (2000) දෙදහසක් පමණක් බව ඇය අනාවරණය කළා ය. ඉතිරි පුද්ගලයින් එක්දහස් හයසියයක (1600 )ප්‍රමාණය තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින්ද ආසාදනය විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

මේ තත්වය හමුවේ තම ආයතනයේ සායන වෙත පැමිණ පුද්ගලිකත්වය සුරැකෙන ලෙස රුධිර පරීක්ෂාවන් නොමිලේම සිදුකරගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. මෙම සියලු කරුණු පිලිබදව මහජනතාව පුළුල්ව දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද ඇය පැවසුවාය.

Rivira FB Group Rivira Youtube
To Top