(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 08.13ට)
මොළයේ සැත්කමක් සඳහා යුද හමුදා පර්යේෂණ රෝහලට ඇතුළත් කර සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි පෙනහළු ආසාදනයක් ඇතිවීමෙන් අගෝස්තු 31 සඳුදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු කොරෝනා ආසාදිත රෝගියෙකු ද වේ. මිය යන විට 84 වැනි වියේ පසු විය.
මුකර්ජිගේ පුත්, හිටපු ලෝක් සභා මන්ත්‍රී අභිජිත් මුකර්ජි පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රට පුරා සිටින සාමාන්‍ය ඉන්දියානුවන්ගේ යාඥාවත් වෛද්‍යවරුන්ගේ උපරිම උත්සාහයත් තිබියදීත් තම පියාගේ අභාවය සිදුවී ඇති බවයි.
1935 දී බටහිර බෙංගාලයේ මිරාටි හි උපත ලැබූ මුකර්ජි ප්‍රථම වරට ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූයේ 1969 වසරේ දී යි. 2012 වසරේ දී ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ආරක්ෂක, මූල්‍ය හා විදේශ කටයුතු ඇතුළු ඉන්දියානු රජයේ අමාත්‍ය ධුර රාශියක් ප්‍රනාබ් මුකර්ජී විසින් දැරීය.
ප්‍රනාබ් මුකර්ජිගේ ආසන්නතම අනුප්‍රාප්තිකයා වූ ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඔහුගේ මරණයට ශෝකය පළ කළ අතර එය “යුගයක අවසානයක්” යැයි පැවසීය.
ඔහුගේ දශක පහක දීර්ඝ හා කීර්තිමත් දේශපාලන ජීවිතය තුළ, ඔහු දැරූ උසස් තනතුර නොසලකා බිම් මට්ටමේ ජනතාව සමග කටයුතු කළේ ය. ඔහු දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව මිනිසුන්ට ආදරය කළ පුද්ගලයෙකු වශයෙන් සැළකේ. පළමු පුරවැසියා වශයෙන් ඔහු දිගින් දිගටම සියලු දෙනා සමඟ සම්බන්ධ වෙමින් ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් ජනතාවට සමීප කළේය. ඔහු මහජනතාව සඳහා එහි දොරටු විවෘත කළේය. “අතිගරු” යන පාඨය ඔහුගේ තනතුරට ඉදිරියෙන් යෙදීම අත්හිටුවීමට ඔහු ගත් තීරණය ඓතිහාසික තීරණයක් බව ද ජනාධිපති රාම් නාත් කෝවින්ද් සඳහන් කළේ ය.

