(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 01 පෙරවරු 09.53ට)
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, රැඳවියන් 444දෙනෙකුට නිදහස හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.
එහිදී වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් වූ රැඳවියන් 83 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වන අතර පල්ලේකැලේ බන්ධනාගාරයෙන් රැඳවියන් 54 දෙනෙකුද, කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 35 දෙනෙකු ද, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 30 දෙනෙකු ද, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 28 දෙනෙකු ද වශයෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29ක රැඳවියන්ට මෙලෙස නිදහස හිමිව තිබේ.
බන්ධනාගාර තුළ මේ වන විට පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා මෙම රැඳවියන් ජනපති පොදුසමාව යටතේ නිදහස් කෙරෙන බව තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදි දඩ මුදල් ගෙවා ගත නොහැකිව සුළු වැරදි යටතේ සිරදඬුවම් විදින රැඳවියන්, වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි යටතේ සිරදඬුවම් විදින දඬුවම් කාලයෙන් අඩක් ගෙවා ඇති රැඳවියන්ට නිදහස හිමිව තිබේ.
මීනි මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර ඇතුළු බරපතළ ගණයේ වැරදි සම්බන්ධ කිසිදු රැඳවියෙකුට මෙම ජනපති පොදුසමාව හිමි නොවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සඳහන් කළේය.

