දේශීය පුවත්

සිව් වසරක් තුළ දිවයිනේ සියළුම මාර්ග සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 01 පෙරවරු 10.22ට)

රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අගෝස්තු 31 වන සඳුදා දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීමට පැවති සාකච්ඡාවේ දී ය.

අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සමග එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

බොහෝ දිස්ත්‍රික්කවලට පොදු සහ ඒවට පමණක් විශේෂිත වූ ප්‍රශ්න රජය හඳුනාගෙන තිබේ. පානීය සහ වාරි ජල අවශ්‍යතා, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන අලි ගම්වැදීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩු කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛ අරමුණයි. එය ඉටු කර ගැනීම පිණිස අමාත්‍යවරුනට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් දෙන අවස්ථාවේදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු පත් කළ බව ජනාධිපතිතුමා පැවසීය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට එවලෙහිම විසඳුම් දීමේ වැඩපිළිවෙළක් සැකසීමටත් පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

2015 දක්වා රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ නතර වී තිබේ. ඉදිරි අය වැයෙන් මුදල් වෙන්කර ඇණ හිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළයුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පැවසීය. ඒ,බී.සී.ඩී ලෙස වර්ග කර ඇති දිවයිනේ සියලු මාර්ග ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇතැයි බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.
අමාත්‍යාංශවල රාජකාරීවලට සහ නිලධාරීන් සමග සම්බන්ධ වී ක්‍රියා කොට දේශපාලනඥයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කළ යුතුයයි ජනාධිපතිතුමා කමිටු සභාපතිවරුන්ට පැවසීය.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන සහය දෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු සහතික වූහ. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සාකච්ඡාවට එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
To Top