News

බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 03 පස්වරු 02.03ට)

ඉන්දියාවේ විශාලතම තෙල් පිරිපහදු කරන්නෙකු වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමට අයත් බොරතෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මහ පරිමාන බොරතෙල් ප්‍රවාහකයෙකු වන එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ මුහුදු කලාපයේ දී සැප්තැම්බර් 02 දින අනතුරට පත් වී තිබෙනවා.

බොරතෙල් ටොන් 270,000ක සම්පූර්ණ බර පටවන ලද නෞකාව කුවේටයේ මීනා අල් අහමන්ඩි වරායේ සිට නැගෙනහිර ඉන්දියාවේ පරදීප් වරාය බලා යමින් සිටි බව එම නෞකාවේ ගමන්මග දැක්වෙන මෙරයින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර නෞකාවේ මුදා ගැනීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරමින් පවතී.

ශ්‍රී ලංකාවේ සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ එම තෙල් නෞකාවේ ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ පැනමා ධජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන “MT NEW DIAMOND“ නම් වූ නෞකාවේ එංජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවයි. ගින්න මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිරගොස් නොමැති බව ද නාවික හමුදාව කියා සිටී.

මේ වන විට මුදාගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ නෞකා 3ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය යොදවා ඇති බව වාර්තා වේ.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර නෞකාව අසලින් ගමන් කළ වෙනත් නෞකාවක් විසින් ගිනිගන්නා නෞකාවේ කපිතාන් සහ තවත් නාවිකයෙක් හැරුණු කොට අනෙකුත් නැවියන් සියලු දෙනා බේරාගෙන ඇති බව ද යුධ හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

එසේම නෞකාවේ තුවාල ලබා සිටි සේවකයෙකු නාවික හමුදාවෙන් බේරාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව ද නාවික හමුදාව පවසයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top