,
News

රජයේ වාහන 9,704ක් අත්හැර දමලා, 4,116ක් අලුත්වැඩියා කර භාවිතයට කැබිනට් අනුමැතිය

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 03 පස්වරු 08.16ට)

රජයේ ආයතන මගින් භාවිතා කර පසුව යම් යම් අඩු පාඩු සහ නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් අත්හැර දැමූ වාහන 9,704ක් ඇති බව සැප්තැම්බර් 02 දින පැවති කැබිනට් රැස්වීමේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම වාහන 9,704 අතුරින් වාහන 4,116ක් අලුත්වැඩියා කර යළි භාවිතයට ගත හැකි බැවින් එම වාහන අලුත්වැඩියාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වාහන 4,116ක් අලුත්වැඩියා කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ සැප්තැම්බර් 03 දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසුවා.

අලුත්වැඩියා කළ නොහැකි වාහන 5,588 විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අපහරණය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එසේම එම වාහන 4,116 අලුත්වැඩියා කිරීමේ දී ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති රාජ්‍ය ආයතන සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද නියමිතයි. එලෙස අලුත්වැඩියා කරන වාහන මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා ප්‍රමාණවත් තරම් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත පැවරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තිබූ සඳහන.

සැප්තැම්බර් 03 දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ අත්හැර දැමූ වාහන ගණන ලෙස සඳහන් කළේ 5,588 වන අතර ඉන් අලුත්වැඩියා කර භාවිතා කළ හැකි වාහන ප්‍රමාණය ලෙස 4,116ක වාහන ප්‍රමාණය සඳහන් කළේ ය. එම වීඩියෝව මෙතැනින්.

Rivira Ads
To Top