,
Constitutional Reform

ආණ්ඩුවේ 20වැනි සංශෝධනය රට ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට ගෙනයන්නක් – ජවිපෙ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 04 පස්වරු 04.00ට)

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සැප්තැම්බර් 04 දින පෙරවරුවේ දී මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ ආණ්ඩුවේ 20වැනි සංශෝධනය රට ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට ගෙනයන්නක් බවයි.

එම මාධ්‍ය හමුවේ දී ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් උපුටා දක්වා තිබෙනවා.

“ආණ්ඩුවේ 20 වැනි සංශෝධනය දැන් ගැසට් කොට තිබෙනවා. අප රට මුහුණ දෙන මූලික ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමෙන් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රටේ ජනතාව මුහුණදී තිබෙන ජීවත්වීමේ ගැටලුව, නීතියේ විධානය නොමැති වීමේ ගැටලුව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ ගැටලු ආදී මූලික ගැටලු විසඳිය හැකියැයි අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියයි. කැමති වුවත් අකමැති වුවත් අප පුරවැසියන් ලෙස යටත් නීතිය වන්නේ එයයි. ඒ නිසා මෙම මූලික නීතියේ සිදුකරනු ලබන වෙනස් කිරීමක්, එකතු කිරීමක්, ඉවත්කිරීමක් මගින් රටේ නීතියට විශාල ලෙස බලපානු ලබන වෙනස්කම්වලට හේතුවෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීති පද්ධති, ආයතන ව්‍යුහයන් ගොඩනැගුණේ හුදු පුද්ගල මනඃකල්පිත ලෙස නෙමෙයි; මානව ශිෂ්ටාචාරය තුළ සිදුකරන ලද අරගල, සටන්, සාකච්ඡා මගිනුයි. ඉතිහාසය තුළ ගෝත්‍ර යුගයේ සියල්ල ගෝත්‍ර නායකයා විසින් තීරණය කළා. අද පවතින අර්ථයෙන්ම නොවුණත් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ගෝත්‍ර නායකයා විසින් ක්‍රියාත්මක කළා. එහෙත් මිනිස් ඉතිහාසය තුළ මේ අත්තනෝමතිකත්වයට එරෙහි අරගල හා දාර්ශනික අදහස් නිසා ලෝකය නිදහස් තැනක් බවට පෙරළුණා. ලෝකය අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා ආවා.නමුත් ආණ්ඩුව විසින් මේ යෝජනා කර තිබෙන 20වැනි සංශෝධනය මගින් මානව සමාජය ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා යනවා. සියලු බලය යළි ගෝත්‍ර නායකයෙකු අතට පත්වීමක් දැකිය හැකියි. ඊට නිදසුන් ගණනාවක් මෙම 20වැනි සංශෝධනය තුළ අඩංගු වෙනවා.

පාර්ලිමේන්තුව වෙනම ජන වරමක් මගින් පත්කරනු ලබනවා. එහෙත් නව සංශෝධනය අනුව පාර්ලිමේන්තුව පත්වී වසරක් ගතවූ පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පත්වෙනවා.පවතින ව්‍යස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී තිබූ බලය මෙම සංශෝධනය මගින් එම සමස්ත පත්කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් පවරා ගනු ලැබ තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර සෙසු සාමාජිකයින් පත්කිරීමේ බලයද ඔහු විසින් පවරා ගනු ලැබ තිබෙනවා. සැබැවින්ම එහි නිල බලයෙන් සභාපති වන්නේ අගවිනිසුරුවරයායි. 19වැනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට මේ බලය තිබුණා. සේලාන් බැංකුවේ වැඩකරමින් සිටි සභාපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කරනු ලැබුවේ ඒ කාලයේයි. මෙය අධිකරණයේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයා අතට ගැනීමක්.විධායකය ජනාධිපතිවරයා විසින් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙහෙයවනු ලබනවා. කැබිනට් මණ්ඩලය පත්කිරීමේ බලය, විෂය පැවරීම, ඉවත්කිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අතට ගෙන තිබෙනවා. මෙය ගෝත්‍ර යුගයේ ගෝත්‍ර නායකයා අතට සියල්ල පවරා ගැනීමට සමාන තත්වයක්.

මෙය අපේ රට ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා රැගෙනයාමක්.

19 යටතේ පිහිටවූ ස්වාධීන කොමිෂන් සභා ඒවායේ ස්වාධීනත්වය රැකගැනීමට අසමත්ව තිබුණා. ආණ්ඩුව රට ප්‍රජාතාන්ත්‍රිකකරණයේ දිශාවට රැගෙනයනවානම් කළ යුතුව තිබුණේ ඒවායේ ස්වාධීන ක්‍රියාකාරිත්වයට බාධා කළ අඩුපාඩුකම් නිවැරදි කිරීමයි. අප විසින් පෙරදී ගෙන ආ 20වැනි සංශෝධනය මගින් යෝජනා කර තිබුණේ මෙයයි. නමුත් නව සංශෝධනය මගින් යෝජනා කරනු ලැබ ඇත්තේ සම්පූර්ණයෙන් ආපසු හැරීමක්. මෙම කොමිෂන් සභා ජනාධිපතිවරයා අතට කේන්ද්‍ර ගත කරගෙන තිබෙනවා. මේ නව කොමිෂන් සභාවල ස්වාධීනත්වය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා. ඒ කොමිෂන් සභාවල බෝඞ් එකත්, කාර්යාලයත්, පුද්ගලයනුත්, ඊට අදාළ වැයබරත් ඉතිරි වී තිබෙනවා. එහෙත් එය ජනාධිපතිවරයාගේ අණසකට යටත් කරන ලද කණ්ඩායමක්.

ජාතික විගණන කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම නමින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පවතිනවා. මෙම සංශෝධන මගින් ඒවා අහෝසි කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය මුදල් වැයවූයේ කෙසේදැයි සොයාබැලීමේ වගකීම පවතින්නේ විගණකාධිපතිවරයා පුමුඛ ජාතික විගණන කොමිසමටයි. දැන් විගණකාධිපති පත්කිරීමත් ජනාධිපතිවරයා විසින් පවරා ගෙන තිබෙනවා. තමන්ගේ මුදල් පරීක්ෂා කිරීම තමන් විසින්ම පත්කරන පුද්ගලයෙකුට පැවරීම පිළිබඳ යෝජනාවක් කළ හැක්කේ වංක පුද්ගලයෙකුට පමණයි. එය කෙතරම් ශිෂ්ටසම්පන්න ක්‍රියාවක්දැයි ජනතාව විසින් සිතා බැලිය යුතුව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බලය, කැබිනට් මණ්ඩලයේ බලය පමණක් නොව අගමැතිවරයාගේ බලයද ජනාධිපතිවරයා විසින් අත්පත් කරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ නව තත්වය කෙසේ දරා ගනීවිදැයි, කවර තීන්දුවක් ගනීවිදැයි අපි දන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ තමන්ට ඇත්තේ පියන් කෙනෙකුගේ බලයක් යැයි අගමැති ප්‍රේමදාස වරක් කියා තිබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ඩී.බී. විජේතුංගට, ජනාධිපති චන්ද්‍රිකා යටතේ රත්නසිරි වික්‍රමනායකට, ජනාධිපති මහින්ද යටතේ දි.මු. ජයරත්නට සිදුවූ දෙය ජනාධිපති ගෝඨාභය යටතේ මහින්ද රාජපක්ෂට අත්වීමට නියමිතයි.

මේ ආණ්ඩුව බලයට පත්වීමේදී ගෙන ආ මතවාදය අනුව නීති සම්පාදනය විය යුතුව තිබුණේ ද්විත්ව පුරවැසිභාවය දැරීම පාර්ලිමේන්තුවට පත්වීමට පමණක් නොව තානාපති, මහකොමසාරිස් වැනි ධුර දැරීමට පවා නොසුදුසුකමක් විය යුතුයැයි ආදේශ විය යුතුව තිබුණා. පසුගියදා ආණ්ඩුව නියෝජනය කරන පිරිසක්ම ඇමරිකානු හිතවාදී මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස් ධුරයට පත්කරනු ලැබීම ප්‍රශ්න කර තිබුණා. එහෙත් නව සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය දැරීම නිසා පාර්ලිමේන්තුවට පත්වීමට තිබූ බාධාව ඉවත් කරනු ලැබ තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගැනීමට වඩා ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම පහසුයැයි තීරණය කර තිබෙනවා. සැබැවින්ම එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීමේදී ලබාදෙන දිවුරුමේ එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමට පවා තමන් සූදානම් යැයි පුරවැසියෙක් පොරොන්දු වෙනවා. ඒ අනුව ගත්තොත් මේ සංශෝධනය නියෝජනය කරන්නේ තනි පුද්ගලයෙකුගේ වුවමනාවක්. ජනතාව 2/3ක බලයක් දුන්නේ මෙවැනි සංශෝධන වෙනුවෙන්ද? ජනාධිපතිවරයා අවංකනම් සිදු කළ යුතුව තිබුණේ තමන්ගේ ක්‍රියාවන්හි විනිවිදභාවය පවත්වාගැනීමයි. තමන්ව පරීක්ෂාවට භාජනය වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමයි. අධිකරණයට, පාර්ලිමේන්තුවට වගකීමට බැඳීමයි. එහෙත් ඔහු මේ සංශෝධන මගින් පාර්ලිමේන්තුවට වග නොකියන, අධිකරණයේ මුක්තිය හිමි අයෙක් බවට පත්වී තිබෙනවා.

එසේම සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත් කරද්දී මහජනතාවට ඊට එරෙහිව අධිකරණයට යාමට සාධාරණ කාලයක් ලැබෙනවා. එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල්වී සති දෙකක කාලයක් ලැබෙනවා. එහෙත් මේ සංශෝධනය තුළ ආණ්ඩුව හදිසි පනත් ගෙන ඒමේ බලය නැවතත් ලබාගෙන තිබෙනවා. ඒ අනුව කැබිනට් අනුමැතිය ලබාගෙන, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා පැය 24ක් තුළ එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. මේ යටතේ ජනතා විරෝධයට හේතු විය හැකි, ඔවුන් පීඩාවට පත් කළ හැකි යෝජනා අඩංගු පනත් හා සංශෝධන පැය 24ක් තුළ ගෙන ඒමේ අවදානමක් තිබෙනවා. ඊට එරෙහිව අධිකරණයට යෑමේ අවස්ථාව ජනතාවට අහිමි කොට තිබෙනවා. මේ වන විට කම්කරු පනත් 05කට අදාළ සංශෝධන ආණ්ඩුව විසින් සාකච්ඡා කරමින් පවතිනවා. මෙය වැඩකරන ජනතාවට හා වෘත්තීය සමිතිවලට බරපතළ අවදානමක් මතු කරනවා.

පවතින ව්‍යවස්ථාව තුළ අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමා කොට තිබුණා. එය හුදු ඉලක්කමක් පමණක් නෙමෙයි. අප රට සංවර්ධනය කිරීම සඳහා මෙම අමාත්‍ය ධුර 30ක සංඛ්‍යාව හොඳින්ම ප්‍රමාණවත්. මෙය නියෝජ්‍ය අමාත්‍ය ධුර 30කටද සීමා විය යුතුව තිබුණා. නිවැරදිම ගැලපීම වූයේ එයයි. විවිධ වුවමනාකම් මත 19වැනි සංශෝධනය තුළ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 40ක් ලෙස සටහන් වුණා. නමුත් මේ නව සංශෝධන තුළ අමාත්‍ය ධුර සංඛ්‍යාවට පවතින සීමාව අහෝසි කර තිබෙනවා. ජනාධිපතිවරයාට අසීමිත ලෙස අමාත්‍ය ධුර නිර්මාණය කරන්නත් විෂයන් වෙනස් කරන්නත්, පවරා ගන්නත් බලය ලබා ගෙන තිබෙනවා. 2/3ක් ලබාදුන් පුරවැසියා එය ලබා දුන්නේ අසීමිත ලෙස අමාත්‍ය ධුර නිර්මාණය කරගැනීම වෙනුවෙන්ද?

මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාශකාරී වගේම ජනතාවට අහිතකර සංශෝධනයක්.

ඒ නිසා ආණ්ඩුවේ මේ 20වැනි සංශෝධනයට අපි අපේ විරෝධය පළ කර සිටිනවා.”

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මෙසේ පවසා සිටියා.

“19 සම්බන්ධයෙන් හදපු ප්‍රධාන සැකය තමයි පොලිස්පතිවරයා ඉවත් කර ගැනීමට නොහැකියි යන කාරණය. පොලිස්පතිවරයාගේ හැසිරීම, ඔහුට පාස්කු ප්‍රහාරයට තිබෙන සම්බන්ධය වැනි කරුණු සලකා බලා එවැනි පොලිස්පතිවරයෙක් පවා ඉවත් කර ගන්න බැරි වුනේ 19 සංශෝධනය නිසා බව මතයක් හැදුවා. ඒක සම්පූර්ණ බොරුවක්. වැරදිම වැරදි අදහසක්. 19න් වෙනස් වුනේ පොලිස්පති පත්කරන ආකාරය පමණයි. ඉවත් කිරීම වෙනසකට භාජනය වුනේ නැහැ. පොලිස්පති ඉවත් කරන්නේ 2002 අංක 05 දරණ පනත අනුවයි. 2001දී 17වැනි සංශෝධනය සම්මත වූ පසුව එයින් පොලිස්පති පත්කිරීමේ ආකාරය වෙනස් වුනා. ඉන්පසුව පොලිස්පති ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වෙනම පනතක් සම්මත කෙරුණා. ඒ වගේම දැන් කියනවා වැඩබලන පොලිස්පතිවරයෙක් තියාගෙන යන්න සිදු වෙලා තිබෙන්නේ 19ය නිසා කියලා. අවශ්‍ය නම් පොලිස්පතිවරයා ඉවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන්.

ඉතාමත් කෙටි කාලයකින් අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක ඉවත් කළා. පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාගේ ධුර කාලය අවසන් වුනේ පසුගිය අප්‍රේල් මාසයේ. ඒ නිසා අවශ්‍ය නම් අලුත් පොලිස්පතිවරයෙක් පත් කරගන්න පුළුවන්කම ආණ්ඩුවට තිබෙනවා. නමුත් මේ ආණ්ඩු වැඩබලන පොලිස්පති සමග වැඩ කරන්න කැමතියි. වැඩබලන කෙනාගේ ඉදිරියේ කැරට් අලයක් තිබෙනවා තම තනතුර ස්ථිරකර ගැනීමේ කැරට් අලය. ඒ අනුව ආණ්ඩුව තමන්ට ඕන විදියට වැඩබලන පොලිස්පතිගෙන් වැඩ ගන්නවා.

ඒ නිසා තමයි රාජසභා මණ්ඩපය ඩෝසර් කරපු නගරාධිපති අත්අඩංගුවට ගන්නේ නැත්තේ. ඉස්සන් කොටු හදන්න වනය ඩෝසර් කරන්න නියෝග කරපු කෙනා වෙනුවට ඩෝසරය අත්අඩංගුවට ගන්නේ ඒ අනුවයි. ඒ නිසා පොලිස්පතිවරයා සම්බන්ධකරගෙන 19 ගැන හදන මතය අවලාදයක් සහ අසත්‍යයක්.

මේ සම්බන්ධයෙන් අධිකරණයට යායුතුද කියලා අපි තවම තීරණය කරලා නැහැ. මොකද අභියාචනාධිකරණ විනිසුරුවරුන් දන්නවා ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි මාවත ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳ ගැනීමෙන් පමණක් කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අග්‍රවිනිස්චයකාර තනතුර ලබාගැනීමේ මාවත තිබෙන්නේ ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගැනීමෙන් පමණයි. ඉතිං ඒ නිසා අධිකරණයට යෑමෙන් ඵලක් තිබේද කියන කාරණය ගැන සලකා බලන්න ඕනෑ. නමුත් මේ පාර්ලිමේන්තුවේ 2/3ක ගැන වෙන විදියකට හිතන්න අවශ්‍යයි. මෙතන විහිළුජනක තත්වය වන්නේ 1978දී ජේආර් ඒකාධිපති බලතල නිර්මාණය කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට ඊට විරුද්ධව සිටි කඳවුර තමයි දැන් නැවතත් එවැනි බලතල තමන් වෙත ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නේ.

ඒ වගේම තමයි 17වැනි සංශෝධනය ගෙනත් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරලා ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමට යෝජනා කරන විට විරුද්ධ වුනේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි. අනෙක් මන්ත්‍රීවරු අත් ඉස්සුවා. ඉන්පසුව 17 තිබෙන දේ අහෝසි කරලා ඒකාධිපති 18 වැනි සංශෝධනය ගේනකොට 2/3ක අත් ඔසවලා සම්මත කරගත්තා. ඉන්පසුව 18 තිබුණ ඒකාධිපති ස්වභාවය ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 19 ගේනකොට ඒකටත් මේ මන්ත්‍රීවරු අත් ඔසවනවා. 19 තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී කරුණු ඉවත් කරලා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් හදන්න 20 ගේනකොට ඒකටත් අත් ඔසවනවා. ඉතිං අපිට හිතාගන්න බැහැ මේ අය කුමන වර්ගයේ මන්ත්‍රීවරුද කියලා.

Rivira Ads
To Top