(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 06 පෙරවරු 11.54ට)
පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමිය යුතු බවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික රියාර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කිරීමත් සමග රට පුරා ජනතාව ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා.
සමාජ ජාලා ඔස්සේ ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙකු කියා සිටින්නේ “ඉන්දියාව බලහත්කාරයෙන් පැටවූ පළාත් සභා ක්‍රමය” සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බවයි. මේ වන ෆේස්බුක් හී පළාත් සභා විරෝධීන්ගේ ජාතික එකමුතුව නමින් සාමූහිකයක් ද නිර්මාණය වී තිබෙන අතර ඊට දින කිහිපයක් තුළ 20,000කට අධික සාමාජිකයින් පිරිසක් එක් වී තිබෙනවා.
මීට අමතරව පළාත් සභා ක්‍රමයට එරෙහි සාමුහිකයන් ගණනාවක් ද නිර්මාණය වෙමින් පවතින අතර ඇතැමුන් පවසන්නේ “පළාත් සභා 09 යනු දේශපාලනඥයින් කිහිප දෙනෙකුට සැප ගැනීමට ඇති හෝටල් 9ක්” බවයි. සමහරුන් පවසන්නේ “පළාත් සභා අහෝසි කර දමා ඒ ඒ ප්‍රදේශ දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා දියණු කළ යුතු” බවයි.
මේ වන විට පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මත පළ කරන්නන්, රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර වටා ඒකරාශී වන අයුරු ද මේ හරහා නිරීක්ෂණය වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතැම් පිරිස් ආචාර්ය සරත් වීරසේකර ඉලක්ක කර විශාල ලෙස චෝදනා කරමින් සිටීම ද නිරීක්ෂණය වේ.
පසුගිය දිනෙක හිටපු පළාත් සභා නියෝජිතයින්ගේ සංසදයක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා වන කංචන ජයරත්න හා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සොයුරු හිටපු මහඇමති එස්.එම්. රංජිත් ඇතුළු පිරිසක් ආචාර්ය සරත් වීරසේකරව දැඩි ලෙස විචේචනය කරමින් කියා සිටියේ පළාත් සභා රටට අත්‍යවශ්‍ය බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර සඳහන් කර තිබුණේ “කවුරුන් කුමක් කීවත්, පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යාම නිශ්ඵල කාර්යක්” බවයි. එය ස්ථාපිත කළේ ද රටේ ඇඳිරි නීතිය පවා දමා බලහත්කාරයෙන් බව ද සරත් වීරසේකර සිහිපත් කර සිටියා.
කෙසේ වෙතත් තවත් කණ්ඩායමක් පළාත් සභා ක්‍රමය ආරක්ෂා කර ගත යුතු බවට ද මත කරනවා. ඔවුන් පවසන්නේ “උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට එකම විසඳුම ඉඩම් හා පොලිස් බලතල ද ලබා දෙන පළාත් සභා ක්‍රමය” බවයි. එමගින් උතුරු නැගෙනහිර ජනතාවට තරමක හෝ ස්වයං නිර්ණ අයිතියක් ලබාගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

