(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 06 පස්වරු 02.43ට)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව සැප්තැම්බර් 07 දින සිට බිත්තරයක මිල රුපියල් 2කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අගමැති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී සැප්තැම්බර් 05 දින පැවැත්වූ බවයි.
එහිදී අග්‍රාමාත්‍යවරයා පාරිභෝගික ජනතාවට සහන සැළසීම වෙනුවෙන් බිත්තර මිල පහල දමන්නැයි කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළැඹ තිබෙනවා.
ඒ අනුව සුදු බිත්තරයක් රු.18.00 කට හා රතු බිත්තරයක් රු.18.50 ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගත හැකි බව ඔවුන් සඳහන් කර තිබෙනවා. මේ වන විට වෙළඳ පොළේ බිත්තරය මිල සටහන් වන්නේ රු. 27ත් 28.50ත් අතර මිලකට වේ.
බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවකුගේ මිල රු. 350ක තරම් ඉහළ මිලක් පවතින නිසා බවත්, එම මිල රු.175ක් දක්වා අඩු කර දෙන ලෙසත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස ඒ මොහොතේම විෂයභාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් සම්බන්ධකරගත් අග්‍රාමාත්‍යවරයා, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ඉල්ලීම පිළිබඳව වහා අවධානය යොමුකර ඊට අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් නිෂ්පාදන වියදම අධික වුවද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසා ඇති අතර රටේ සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් සියයට 70ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හරහා බෙදා හැරෙන අතර, අඩුකළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සුදානම් බව අග්‍රාමාත්‍යවරයා වෙත එම හමුවේ දී දැනුම් දී තිබෙනවා.
මෙම අවස්ථාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක, අධ්‍යක්ෂ මණ්ඩලය, බිත්තර නිෂ්පාදනයේ නිරත ගොවින් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

