දේශීය පුවත්

බෞද්ධ හිමිවරුන් 15,000ක් ආවරණය කරමින් “බුදුපුත් සුරාක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය” හඳුන්වාදෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 08 පෙරවරු 11.47ට)

බෞද්ධ භික්ෂූන් වහන්සේලා 15,000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ඔක්තෝම්බර් මස 01 දින සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සැප්තැම්බර් 07 දින උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරියේ පැවති, බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ දී යි.

එම පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ අග්‍රාමත්‍යවරයා යි. ඒ අනුව “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ” වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අරමුදලට රජයෙන් ද තවත් රුපියල් මිලියන 50ක මුදලක් සැපයීමට නියමිතයි. මෙම අරමුදල වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද අගමැතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ වැඩවසන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්‍ෂණය වෙනුවෙන් “බුදුපුත් සුරක්‍ෂා භික්‍ෂු රක්‍ෂණාවරණය” හඳුන්වාදීමේ ජාතික උත්සවය, තෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් 2019 වසරේ ජූනි මස 26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. පැවති යහපාලන රජයේ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සංකල්පයක් අනුව එම වැඩසටහන ආරම්භ වූ නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක වී නොතිබූ බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.

එසේම මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් පරිදි පහත දැක්වෙන තීරණවලට එළැඹ තිබෙනවා.

  1. මෙතෙක් වයස අවුරුදු 100 ට වැඩි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැක බලා ගැනීම ක්‍රමවේදය අවුරුදු 90 සීමාව දක්වා ගෙන ඒම.
  2. වසර 03ක කාලයකට සාමනේර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දැමීම සහ රුපියල් 750 ක්ව පැවති එම ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීම.
  3. අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂයේ මුදල ආචාර්යය දිවියාගහ යසස්සි හිමියන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීම.
  4. දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සාමනේර භික්ෂු ආයතන 20ක් වැඩි දියුණු කිරීම.
  5. චීන රජයෙන් පිරිනමන, චීන භාෂා පුහුණුව සඳහා කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ස්වාමීන් වහන්සේලා 100 නමක් යොමු කිරීම.
  6. පන්සල් ආශ්‍රිතව පවතින විශ්‍රාම ශාලාවලින් මුදල් අය කිරීම සිදු නොකිරීම හා දායකයින් විසින් ලබා දෙන මුදලක් පමණක් ලබා ගැනීම.
  7. ස්වාමීන් වහන්සේලා සඳහා භාෂා ඉගෙනීමේ (දමිළ විශේෂිතව) වැඩසටහන් ආරම්භ කිරීම.

මෙම අවස්ථාව සඳහා පාලක මණ්ඩල සාමාජික ආචාර්ය දිවියාගහ යසස්සි හිමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධ ශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන, බුද්ධ ශාසන අරමුදලේ මහා භාරකාරතුමිය නීතීඥ ජී.කරවිට, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
To Top