,
Politics

මරණීය දණ්ඩනය නියමූ ප්‍රේමලාල් මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි, විපක්ෂය කළු සාටක පැළඳ විරෝධතාවයේ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 08 පස්වරු 02.11ට)

මිනීමැරුම් චෝදනාවකට අදාළව වැරදිකරු වීම මත මරණීය දණ්ඩණයෙන් දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රන්තපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙවැනියට වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 08 දින පස්වරුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටි අතර විරෝධය මධ්‍යයේ දිවුරුම් දීම සිදුවිය. පසුව දිවුරුම් දීමෙන් පසු එම දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සභා ගර්භයෙන් ඉවත් වීමට ද එම මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නීති ප්‍රශ්නයක් යොමු කිරීමෙන් අනතුරුවයි.

මහමැතිවරණයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය පහසුකම් සළසන ලෙස අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සැප්තැම්බර් 07 දින නිකුත් කළ අතුරු නියෝගය අනුව සැප්තැම්බර් 08 ඔහුව පාර්ලිමේන්තුව වෙත ගෙන එනු ලැබුණි.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් හා විනිසුරු සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය නිකුත් කර තිබුණි.

ප්‍රේමලාල් ජයසේකර විසින් තමාට පාර්ලිමේන්තු යාමට අවස්ථාව ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ඔහු විසින් එය අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකර තිබුණි. අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අදාළ ඉල්ලීම නීතිපතිවරයා වෙත යොමුකර තිබූ අතර ප්‍රේමලාල් ජයසේකර හට “පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුස්සෙකු නොවන” බව නීතිපති දප්පුල ද ලිවේරා විසින් දැනුම් දී තිබුණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) (අ), 89 (ඈ) ව්‍යවස්ථා උපුටා දක්වමින් නීතිපතිවරයා පෙන්වා දී තිබුණේ ඡන්ද දායකයෙකු වීමට සුදුසුකම් නොලබන පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

මරණීය දණ්ඩනය හිමි වූවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය හැකිද? නීතිය මෙන්න

2015 ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජයසේකර ඇතුළු තවත් දෙදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් ජූලි 31 දින මරණ දඩුවම නියම කර තිබුණි. පසුව ඔහු විසින් අදාළ තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණි.

Rivira Ads
To Top