දේශීය පුවත්

රජය, මහ කන්නයේ දී කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරයි, හිඟයකින් තොරව පොහොර සැපයීමට ජනපති නියම කරයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 09 පෙරවරු 11.21ට)

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 08 දින පැවති රැස්වීමක දී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා බලධාරීන් හමුවේ පවසා තිබෙනවා. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටින බව ද එම රැස්වීමේ දී අවධානයට ලක්ව තිබෙනවා.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සැප්තැම්බර් 08 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබෙන බවත් වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ කීය. බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇතැයි බැසිල් රාජපක්ෂ කියා සිටියේය.

එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව Single superphosphate රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබෙනවා. නැනෝ තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කෙරෙමින් පවතී.

පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැපයේ. පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000කට කාබනික පොහොර භාවිත කෙරිණ. ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ සඳහන් කළහ. මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදාගැනීමේ හැකියාව වහාම සොයා බැලීමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කෙරේ.

කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රසායනික පොහොර මගින් ජලයට හා භූමියට වන හානිය වැළැක්වීමත්, වකුගඩු රෝගයෙන් සහ සෙසු රෝගවලින් ජනතාව මුදා ගැනීමත්, පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික වී තිබේ

රසායනික පොහොර සහ කාබනික පොහොර 70% සහ 30% ප්‍රතිශතයට යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය. එළවළු ගොවින්ගෙන් ඝෘජුව මිලදී ගෙන එළවළු වර්ග 06කින් යුත් මල්ලක් රුපියල් 350ක මුදලකට කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10ක දී සාර්ථකව අළෙවි කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රේඛීය අමාත්‍යාංශ සමග එක්ව ඝෘජුව පාරිභෝගිකයා වෙත සැපයීම අඛන්ඩව කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහූ, පොහොර සමාගම් නියෝජිතයෝ සහ වගාකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
To Top